Thursday, May 16, 2013

(ලෙනාඩ් වුල්ෆ් 2 වන කොටස ) - ලෙනාඩ් වුල්ෆ්, නව කතාව සහ අපි





නවකතාව, ලෙනාඩ් වුල්ෆ්, බැද්දේගම සහ අපි


සුනිල් කුමාරසිංහ අතුකෝරල

පසුගිය සතිය හා බැඳේ....

"1909. 02. 01
උදේ ආහාර ගැනීම සඳහා තල්ගස්‌ මංකඩ දක්‌වා පයින්ම ගොස්‌ පස්‌වරු කටගමුවට පැමිණියෙමි. ගමනේ දුර සැතපුම් 30 ක්‌ පමණය. ගමනේ දී සැලකිය යුතු මුවන් සංඛ්‍යාවක්‌ දුටු නමුත් වනාන්තරයේ දැඩිකමත් මුවන් ගේ නුපුරුදු කම හා බිය ගතියත් නිසා උන්ට සමීපවීම දුෂ්කර විය. එක්‌ ස්‌ථානයක දී අපට නුහුරු හා නුපුරුදු ශබ්දයක්‌ ඇසෙන්නට වූ අතර වන නිලධාරියා (එංගල්බෙක්‌) එම ශබ්දය වළසෙකු ගේ බවට තීරණය කළේය. එම ශබ්දය ඔස්‌සේ ගමන් කළ අපට දැක ගන්නට හැකි වූයේ, දිය වළක සිටි දැවැන්ත කිඹුලෙකි. ඌට වෙඩි තැබුවෙමි. හෙමින් සීරුවේ ඉදිරියට ඇදෙන්නට වූ කිඹුලා ගේ කටේ දත් නොමැති බව පෙනුනි. (වයස්‌ගත නිසා වන්නට ඇත) කිඹුලා ගේ උගුරෙහි විශාල ඉබ්බෙක්‌ හිරවී තිබිණි. කිඹුලා විසින් ඉබ්බා අල්ලා ගන්නට ඇත. නමුත් දත් නොමැතිකම නිසා ඉබිකටුව විනාශ කිරීමට නොහැකි වීමෙන් ඉබ්බා උගුර දක්‌වා ලිස්‌සා ගොස්‌ හිරවෙන්නට ඇත. අපට ඇසුණ ශබ්දය ඉබ්බා පිට කරන්නට කිඹුලා දැරූ උත්සාහයේ ප්‍රතිඵලයකි. "

"
වුල්ෆ් ගේ වන සංචාරයන් තුළ ව්‍යාපාරික ලෙස සංවිධානාත්මක වශයෙන් කරන ලද දඩයම් කිරීමේ ආකල්ප ද ප්‍රකට කෙරෙන්නේ යෑයි ඇතැම් විචාරකයන් ගේ මතය විය. 'දඩයම් කිරීමට අවසර දෙනු ලබන කාල සීමාවන් තුළ දී යුරෝපීය ජාතික දඩයම්කරුවන් නොකඩවා මෙහි පැමිණෙති. රජකුමාර වරුන් ඇතුළු වංශවතුන්, සොල්දාදුවන් හා වැවිලිකරුවන් ද මේ අතර වේ " (වුල්ෆ් චරිතාපදානය පිටුව 178)

මක්‌ෂිම් ගෝර්කි, දොස්‌තයොව්ස්‌කි, ඇන්ටන් චෙකෝෆ්, ඩී.එච්. ලෝරන්ස්‌ වැනි ලේඛකයෝ තම රටවල සිදුවූ සමාජ වෙනස්‌වීම මැනවින් වටහාගෙන සමාජ වෙනස්‌වීම මත මානව චරිත වෙනස්‌වන අයුරු තම කෘති මගින් විවරණය කරන්නට සමත් වූහ. එහෙත් අප රට තුළ ආරම්භයේ බැද්දේගම, ගම්පෙරලිය වැනි කෘති මගින් ප්‍රකට කෙරෙන වෙනස්‌වීම මූලික වශයෙන් වෙනස්‌වීමක්‌ දක්‌වා ගමන් කර නොමැති බව විචාරක මතයයි. එනම්, වත්මන් සමාජය තුළ ද ඊට සමගාමී චරිත පවත්නා හෙයිනි. කෙසේ වුවත් ගැමි සමාජයේ මානව ජීවිතය මැනවින් ප්‍රකට කරන කෘති අතර බැද්දේගම ඉහළ අගයක්‌ ගන්නා කෘතියක්‌ බව පොදු පිළිගැනීම වශයෙන් සැලකෙයි. මෙම කෘතිය ගැන අදහස්‌ දක්‌වන මහාචාර්ය උයද ප්‍රශාන්ත මැද්දේගම මහතා පවසන්නේ,

"
විදේශිකයෙකු වූ ද ලෙනාඩ් වුල්ෆ් බැද්දේගම නවකතාවේ කර ඇති තරම් ගැඹුරින් හා අවබෝධයකින් ද, මානව භක්‌තියකින් ද, යුක්‌තව සිංහල ගැමි ජීවිතය නිරූපණය කිරීමට සමත් වී ඇත්තේ සිංහල කතුවරුන් දෙතුන් දෙනකු පමණි. ලෙනාඩ් වුල්ෆ් ලියූ කාලයට වඩා අද, අප සමාජය කෙතරම් වෙනස්‌ වුවත් ගම්බද සමාජය තුළ තිබෙන ප්‍රශ්නවල ස්‌වරූපය පවා, එකලට වඩා බෙහෙවින් ම වෙනස්‌ වුවත්, නූතන ඇතැම් කතුවරුන් තවමත් තෝරා ගන්නේ, තමන් ප්‍රත්‍යක්‌ෂ වශයෙන් නොදත් තරමක්‌ පැරණි කාලයේ ගැමි සමාජයයි. මේ හේතුව නිසාත් මෙම නූතන කතුවරුන් ගෙන් ඇතැම් අය සැබැවින් ගම ගැන කිසිවත් නොදත්කම නිසාත් ඔවුන් ගේ කෘතීන්හි නොගැඹුරු බවක්‌ මෙන් ම අත්දැකීම් අතින් එAකාකාරී බවක්‌ ද ඉදිරිපත් කරන අදහස්‌වල ව්‍යාජ බවක්‌ ද පිළිබිඹු වේ" යනුවෙනි.

බැද්දේගම ජීවන ප්‍රවෘත්තිය තුළින් ඉස්‌මතුවන සිලිඳු, බිරිඳ ඩිංගි හාමි, මුලාදෑනියා බබෙහාමි, කර්ලිනා හාමි, ආරච්චිල, ආදී චරිතයන්හි හැසිරීම නවකතාවක්‌ වශයෙන් පාඨකයාට ඉදිරිපත් කරන කතුවරයා එකී දාවිතයා ගේ විවරණය මනාව සිදු කරනු ලබයි. නවකතාවක ලක්‌ෂණයක්‌ වන මිනිසා ගේ ජීවන අභිප්‍රාය සාහිත්‍යයට පිවිසීමේ දී ජීවිතය පිළිබිඹු කිරීම මැනවින් මෙහි තහවුරු කරයි.

"
උඹේ මිනිහා කිව්ව හරි, මේ මාසෙ තමයි, ළමයි මැරෙන්නෙ, ගිය අවුරුද්දෙ හරියට මේ මාසේ මගෙ ළමයෙකුයි අපේ අයියගෙ හාමිනේ ගෙ ළමයෙකුයි දෙන්නෙක්‌ම වැළලුවා. හොඳ වැස්‌සක්‌ දැන් කිසිදවසක වහින්නෙ නෑ. හැම තිස්‌සෙම බඩගින්නයි, උණයි. පුංචි උනුයි වයසක උදවියයි මැරි මැරී යනවා." (බැද්දේගම පිටු අංක 24)

"
පුංචි මැණිකා හෙමින් හෙමින් අඩිපාරේ පහළට ගමන් කළාය. අවට සෞන්දර්යයෙන් උද්දීප්තිමත් වූ ඇගේ ශරීරයේ ලේ, අමුතු උෙද්‍යාaගයකින් නහර දිගේ දිව්වේය..

අතරමග පිටිපස පඳුරක්‌ අසල සෙලවෙන කිසිවක්‌ දැකීමෙන් ඈ ගල් ගැසුණාක්‌ මෙන් නැවතිණ. වන රොදින් මෑත්ව ඈ දෙසට බබුන් අප්පු එනු දුටු ඈ බියෙන් වෙව්ලා ගියාය. බබුන් අප්පු ගේ දෙනෙත් දීප්තිමත්ව පෙනිණ...

"
අයියෝ මං බයවෙච්ච තරමක්‌  මට හිතුණෙ ගස්‌වල ඉන්න යකෙක්‌ය කියා. පුංචි කාලෙ අප්පොච්චි අපට කීවා ගස්‌වල ඉඳලා යක්‌කු ඇඟට පනිනවා පරිස්‌සම් වෙන්න ය කියා."

එහෙත් ඇගේ ඇඟට ඔහු අත තබන විට බියෙන් හා රාගයෙන් ඇගේ මුළු සිරුර වෙව්ලන්නට විණි. ඈ ඔහුත් සමග පොර බැදුවාය. " (පිටු අංක 38)

කවීන් මෙන්ම නිර්මාණකරුවන් වර්ණනාත්මකව වනාන්තර අගයන නමුත් මිනිසා තුළ මහවනයක දී පවතින, මතු කරන, බියත් වන සතුන් ගේ චර්යාවන් මෙන්ම අප වුවද ආරක්‌ෂාව පිළිබඳ සහතිකයක්‌ ඇතොත් පමණක්‌ සොඳුරු දසුනකින් බැලුව ද, කතුවරයා තම සිතැඟි මේ ගම් වැසියන් ගේ ජීවන අත්දැකීම් තුළින් පාඨකයාට සැබෑ චිත්‍රයක්‌ මතුකර පෙන්වන්නට දරන උත්සාහය අගේ කළ යුතුය.

"
ලෙනාඩ් වුල්ෆ් නිරූපණය කරන බැද්දේගම වැස්‌සෝ ස්‌වභාවධර්මයේම අවියෝජනීය කොටසක්‌ වන අතර තම දිවි පැවැත්ම සඳහා අවශ්‍ය දෑ එම ස්‌වභාව ධර්මයෙන් ම උපුටා ගැනීමට එA සමග කටුක අරගලයක නිරතුරු නිරතව සිටිත්. මේ ප්‍රබල අරගලය මධ්‍යයේ දී ඔවුන් ගිල ගැනීමට මාන බලා ගෙන සිටින්නේ, ගොර බිරම්වනය පමණක්‌ නොවේ. මුලාලිලා ඔවුන් ගේ අල්ප නිෂ්පාදන ගසා කති. තාක්‌ෂණික නොදියුණු කම නමැති තෝතැන්න මත වැවී ඇවිත් තිබෙන අන්ධ විශ්වාස නමැති උරචක්‍රමාලය ඔවුන් ගේ ගෙල වටා භ්‍රමණය වෙයි." (සාහිත්‍ය කලා ආදිය, මහාචාර්ය සුචරිත ගම්ලත්, ගොඩගේ, 1995, පිටු අංක 54) මෙහිදී ඔහු තවදුරටත් පෙන්වා දෙන්නේ, වාණිජ්‍යය, ඔවුන් ගේ ම අන්ධ විශ්වාස පමණක්‌ නොව පාලක පක්‌ෂයේ සූරා කෑමට ද නතුවන ඔවුන් බරපතළ ලෙස ව්‍යසනයට පත්ව දිවි ගෙවන ලද ප්‍රජාවක්‌ ද වශයෙනි.

වනයට බිය නැතැයි වහසි බස්‌ දොඩමින් පුරසාරම් දොඩන ඇතැමුන් පිළිබඳ අප සැබෑ ජීවිතයේ දී ද දැක ඇති අතර, ඕනෑ තරම් ඔවුන්ට වැරදීම් සිදුව ජීවිතයට පවා හානි වී ඇති බව නොකිව මනාය. කතුවරයා අපට මෙය සාක්‌ෂාත් කරන්නේ මෙලෙසයි,

අපි වනයට බිය නැතැයි වහසි කියන්නෝ සිටිත්, තමන් ගේ ගෙමිදුල හෝ නුවර වීදි හෝ මෙන් වනය ද තමන්ට හුරු බව සමහරු කියත්. එහෙත් එසේ කියන්නෝ පුරසාරම් කාරයෝ නොවේ නම් වනයේ නියම තත්ත්වය පිළිබඳ තේරුමක්‌ හෝ හැඟීමක්‌ හෝ නැති මෝඩයෝය.

"
ඔහු දඩයක්‌කාරයෙකි, දඩයක්‌කාරයන්ට මග පෙන්වන්නෙකි. වකුටු ගැසී රිංග රිංගා ගස්‌ හා පඳුරු අතරින් එබි එබී මුළු ජීවිතය ම ගත කළ ඔහු කුදු ගැසී ගිය උරහිස්‌ හා නිතර එබිකන් කරමින් බලන තියුණු කපටි කුඩා දෙනෙතක්‌ ද සිදුරු හා රැළිවලින් ගහන වූ අඳුරුවන් කුඩා මුහුණක්‌ ද ඇති පුංචි මිනිහෙකි. ඔහු දිවියෙකුට වඩා නිසොල්මන්ය. හිවලෙකුට වඩා කපටිය, රැළක නායක මුවකුට - නැඩයකුට වඩා හොඳින් ඔහු වනයේ මග තොට දනී. යටි සුළඟේ සිටින මුවකුට ඉව වැටෙන්නට පෙර තමාට වූ පෙනෙන බවත්, ඝන ලැහැබක සිටින දිවියෙකු විසින් තමා දකිනු ලබන්නට පෙර තමාට ඌ දැකිය හැකි බවත් පුරසාරම් කියයි. " (පිටු අංක 2)

මොනව කියන්ඩද අයිය. මට එAක කරන්ඩ බෑ එහෙම එකක්‌ අපට වෙන්ඩ තියනවා නම් වෙච්චාවෙ. කවදත් මේ ගෙදරට මේ කැලෙන් අපල කඩා වැටෙනවා කියා අප්පොච්චි හැමදාම කියන්නෙ, ඉස්‌සර වෙලාම කන්ඩ නැතුව ගියා ඊට පස්‌සෙ අප්පොච්චිට යකා වැහුණ, ඊට පස්‌සෙ නංගිට යි එයා ගෙ ළමයට යි, මගෙ ළමයට යි තවත් අපල ළමයි මළා. මිනිස්‌සු පුංචි අප්පුව මැරුව, නංගිවත් මැරුව. දැන් තවත් අපල, තවත් නස්‌ පැත්ති. මොනව කරන්ඩ ද?"

කතුවරයා එම සමාජ පරිසරය හොඳින් අවබෝධ කර ගෙන, අත්දැකීම් විෂය කර ගෙන චරිත පණ පෙවීමෙන් නිර්මාණය බෙහෙවින් රසවත් වීමට හේතු වී ඇති බව කිව යුතුය. ගැමි වහර ඇසුරින් විශ්වාසනීයත්වය ද ආරක්‌ෂාවන පරිදි පියවරින් පියවර බැද්දේගම ට පාඨකයා කැඳවා ගෙන යන්නේ කුතුහලය ද මවමිනි. එමෙන්ම පරිවර්තක ගේ කාර්ය භාරය ද පාඨක හද දිනා ගැනීමට සමත් වන ආකාරයක්‌ විශද කරයි.

"
දෙවියන්ට භාරහාර වී සිටි මිනිස්‌සු දූවිලි සහිත මග දිගේ පෙරළෙමින් ගියහ. දරුවන් නැති මව්වරු අඩියෙන් අඩියට නළල් තල බිම එබූහ..." (පිටු අංක, 82)

"
බැද්දේගම වැසියන් තුළ පැවති ඇදහිලි විශ්වාස අතර යකුන් යක්‌ෂණියන් ප්‍රධාන වී ඇති අතර ඔවුන් ගේ කථාන්දරවලද ජීවත්වූයේ ඔවුන්මය. වනාන්තරයට ඇළුම් කරමින් වැඩිපුරම එහි ගතකළ 'සිලිඳු' ගේ හැසිරීම විමර්ශනය කිරීමේ දී පැහැදිලි වන්නේ වන සතෙකු ගේ චරියාවන්ට ඇතැම් කරුණු සමාන වන බවයි. (ඔහු ගේ දරුවන් වූ) පුංචි මැණිකාටත් හීන්හාමිටත් තුන් අවුරුදු වයස්‌ වන තුරු උන් ඉන්නවා ද මළා ද කියාවත් සිලිඳු නො බැලූ තරම් ය. මිදුලේ හෝ පිලේ හෝ සිටි දරුවන් සිලිඳු නොදුටුවේ ය. කිසි දිනෙක උන් ගැන කතා ද නො කෙළේය."( පිටු අංක 15)

ඉතාමත් අල්පේච්ඡ ජීවිතයක්‌ ගත කරන බැද්දේගම වැසියන් අවංක බව හා පිවිතුරු බවේ අගය සුරකින්නේ ඇතැම්විට මරණය වුව ද නොතකාය. දූෂණය නොවූ සංස්‌කෘතියක ලක්‌ෂණ විදහාපාන බැද්දේගම තත් යුගයේ වනාන්තරයට මැදිවූ ගූඪ ලක්‌ෂණවලින් පිරුණ මිනිස්‌ කොට්‌ඨාසයක හැසිරීම් රටාව යථාර්ථවාදීව විදහා දක්‌වන්නකි.

එමෙන්ම වැඩවසම් ක්‍රමය තුළ පරිපාලන රටාව සමාජය දැඩි දෝෂ දර්ශනයට ලක්‌ කරන සිද්ධිවලින් බහුල එකකි. කෝරාල, ආරච්චිල, මුලාදෑනීන් තම වපසරිය තුළ මහේශාඛ්‍යයන්ය. ඔවුහු කිසිදු ආගමකින් හික්‌මවූවෝ නොවෙති. හිතු මනාපයට කටයුතු කළ ඔවුන් හා ඔවුන් ගේ වරිගය පිළිබඳ කොතෙක්‌ ඇතුළු හද කම්පාකළ ද සමකාලීන සමාජය තුළ දිවි ගෙවූවන් එAවා බර පතළ ලෙස විඳ දරා ගන සිටි බව නොරහසකි. මේ සැබෑ ජීවිතය ගැඹුරින් විවරණය වූ නවකථා පසු කාලීනව ද රචනා විය.

නගරයේ නිරර්ථක ජීවිතය හෙළා දකින ගැමියෝ වනයට ආශා කළෝය. කෘෂි ජීවිත ගත කරන ගැමියන් ගේ එකමුතු භාවය පිළිබඳ විශ්වාසයක්‌ බැද්දේගම තුළින් ඉදිරියට නොපැමිණෙන අතර ආත්ම විශ්වාසය බිඳී ගිය දුක තැවරුණ ජීවිත සමග සොබාදහමේ කෲරත්වය කතුවරයා අප හමුවට ගෙනෙන්නේ, අනුකම්පාව උපදවන විලාසයකිනි.

"1909. 11. 09,
ගඟ ඔස්‌සේ යාල ප්‍රදේශයේ සංචාරයක්‌ කළෙමි. අපට යාර කීපයක්‌ ඔබ්බෙන් කොටියෙකු ගසකින් බිමට පැන දිව ගියේය. මෙහි දී බිම සිට අඩි 12 ක්‌ පමණ උඩින් ගසක අත්තක තබා තිබූ සම්පූර්ණයෙන්ම වැඩුණු මුවකු ගේ අඩක්‌ පමණ කා අවසන් කළ මළකුණක්‌ දැක ගත හැකි විය. (චරිතාපදානය)

වන සතුන් හා පරිසරය විඳිමින් තම අත්දැකීම් තුළින් නිර්මාණකරණයට පිවිසීමෙන් කාල්පනික මායා ලෝකයෙන් බැහැරව සොබා දහමේ සිතුවම් නිර්මාණය කරන්නට වුල්ෆ් ට හැකිවිය.

"
සිලිඳු ගේ සිතුම් පැතුම් ද අදහස්‌ උදහස්‌ ද බොහෝ සෙයින් පුදුමය. වනයට වුවත් සාහසික වැඩිය, ඔහු ගේ කෝපය ඇවිස්‌සීම ලෙහෙසි නොවේ. යනුවෙන් හඳුන්වන කතුවරයා, තව දුරටත් පවසන්නේ, ඔහු ගේ කෝපය ඇවිස්‌සුණහොත් පැය ගණන් දවස්‌ ගණන් ඔහු පැල්පත යටට වී කෝපයෙන් දැවෙමින් දහ අතේ හිතයි. ඊට පසු හදිසියේ එතනින් නැගිට සතුරා සොයා ගොස්‌ වන මෘගයෙකු මෙන් ඔහු කරා කඩා පනී." (බැද්දේගම පිටු අංක 12)

"
වුල්ෆ් ගේ චරිතාපදානය ඔහු ගේ සැබෑ දිවියේ තතු මනාව චිත්‍රණය කරයි. තමා ගේ අවසාන අවුරුද්දේ දී තමාට මිඩංගු කළ හැකි උපරිම කාලය වනාන්තරවල රාත්‍රි කාලවලදී දිය වළවල් හා ජලාශ අසල ගත කරමින් ද, වන සතුන් සෝදිසි කමින් ද ගත කළ බව වාර්තා කරයි. දිස්‌ත්‍රික්‌කයේ ප්‍රධාන පරිපාලන නිලධාරියා වුවද, වන සතුන් දඩයම් නැවැත්වීමට තමා ගත් නොයෙක්‌ උත්සාහයන්ට තමාම ආදර්ශයක්‌ වෙමින් තමා ගේ ආහාරයට පමණක්‌ හැර වෙඩි තැබීම අත්හළ බව පවසයි. වනාන්තර සම්බන්ධවත්, දඩයම් කරන්නන් හා වෙඩි තබන්නන් ගැනත් ඔහු ගේ අත් දැකීම් හා දැනුම ක්‍රමයෙන් වැඩිවීමත් සමගම එම කටයුතුවල දැඩි ලෙස යෙදී සිටී. තමාගේම සුදු ජාතිකයන් කෙරෙහි අප්‍රසන්නතාවකින් සිටි බව ද හෙතෙම පවසයි." (වුල්ෆ් ගේ චරිතාපදානය හෙවත් ග්‍රෝවින් හි පිටු අංක 100) ඇසුරින් සම්පාදිත, A. ඩී. පෙතන්ගොඩ ගේ වන දිවි තොරතුරු ලිපියෙනි )

පරිවර්තකයා සිය බස කාව්‍යමය ආකාරයකින් හසුරවනු ලබයි. චරිත නියෝජනය කරන සමාජ ස්‌වභාවය, ගැමි වහර, එහි අරුත් මෙන්ම චරිතයන් ගේ ක්‍රියාකාරකම් හි භාෂාවෙහි බැඳීම උපයුක්‌ත භාෂාවෙහි නිර්මාණාත්මක ලක්‌ෂණ මතු කරවන්නකි.

මේ අනුව බ්‍රිතාන්‍ය පාලන සමයේ එක්‌ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ ලෙනාඩ් වුල්ෆ් උත්ප්‍රාසාත්මක ගුණය මුසුකරමින් රචිත "ද විලේඡ් ඉන් ද ජන්ගල්" තුළින් මෙතෙක්‌ දැක්‌වූ සියලු කරුණුවලට අමතරව අනාදිමත් කාලයක සිට ස්‌ත්‍රිය රැක ගෙන එන ධර්මතාවයන්හි ලක්‌ෂණයන් ද මතුකරලන්නේ තාත්වික ආකාරයෙනි.

"
ඔව්, අප්පොච්චි, ඔව් ඔක්‌කොම මුදලාලිට මං ඕන කර නිසා තමයි. ඊට පස්‌සෙ උන් අපේ හේන ගත්ත. ඊට පස්‌සෙ නඩුවක්‌ පටලල මගෙ මිනිහ උදුරා ගත්තා. මං මොකද කරන්නෙ?"

ගැමි ජීවිතය වෙලන ඉතාමත් කෲරතර කටුක මෙන්ම අනුකම්පාව සේදී ගිය සමාජ යථාර්ථය සෞන්දර්යාත්මකව අවලෝකනය කරන පියවතී සහ ඇගේ පුත්තු, ජීවිතයේ කොටස්‌ කාරයෝ, මල්දෙණියෙ සිමියොන්, මම ඔබ සිඹිමි, පද්මාවතී, ජීවිතය සුන්දරය, මිහිසරණ, මෙන්ම ගැමි දිවිය හා අගහිඟකම නමැති රුදුරු රකුසා ගේ ග්‍රහණයෙන් මිරිකෙන චරිත රැගත් උඩුසුළඟ, දඩබිමෙන් දඩබිමට, මහකන්ද පාමුල ආදී නවකතාවන් ගෙන් වෙනස්‌ව බැද්දේගම රචනා වී තිබුණ ද පීඩාකාරී මෙන්ම අති දුෂ්කර ජීවිත ගත කරන්නන් ගේ ෙදවාචකය අප හමුවට ගෙන එන්නේ, සමස්‌ත ස්‌ත්‍රී ප්‍රජාව කෙරෙහි මානව දයාවෙන් බැලිය යුතු බව පසක්‌ කරමිනි. කතුවරයා දුර සිට දුටු ගමක චිත්‍රයක්‌ පාඨකයා වෙත ඉදිරිපත් කරන බව ඇතැම් මත අතර වුව ද, ඔහු ගේ ජීවන ප්‍රවෘත්තිය විමසීමේ දී මෙන්ම චරිත හැසිරවීමේ දී එය සාවද්‍ය වන ලක්‌ෂණ ප්‍රකට වන බව කිව නොහැකිද යන්න විමසිය යුතුය.

එකල ගැමි සමාජයේ බලවතුන් ලෙස කැපී පෙනෙන ආරච්චිල, වෙදරාල, මුදලාලි, යන චරිත ගැමියන් හා කරන ගනුදෙනුව ව්‍යාජ අනුකම්පාවේ සාකල්‍යයන් ගෙන් පිරුණකි. ඔවුන් සතු සමස්‌තය ග්‍රහණයට ගන්නා අතර ලිංගික සූරාකෑමට ද නොපසුබට වන ආකාරය තත්කාලීන සමාජ සිදුවීම් තුළ බහුලව එන්නකි.

හම්බන්තොට දිසාපතිවරයා වශයෙන් කටයුතු කරමින් 1913 දී ලෙනාඩ් වුල්ෆ් රචනා කරන 'බැද්දේගම' නවකතාවෙහි බබුන්, සිලිඳු සහ පුංචිමැණිකා වැනි චරිත තුළින් ලාංකීය පීඩිත අසරණ සමාජ තලයත් ප්‍රනාන්දු සහ ආරච්චිල යන චරිත හැසිරවීමත් නිලධාරී යාන්ත්‍රණය මෙන්ම සුළු ධනේශ්වර චින්තනයේ බලපෑමත් ප්‍රතීයමාන කරන්නේ, අකාලික දහමක සේයාවෙනි. සරණක්‌ නොමැතිව අපේක්‌ෂා භංගව අසරණ භාවයේ පතුළට වැටී පරපීඩිත කාමිකයන්ගේ අසාධාරණයන්ට වහල්වන සමාජීය චරිත එදා මෙදා තුර අපි අත්විඳින්නෝ වෙමු. ධනය සහ බලය ජීවිත වහල් භාවයට පත්කර ගන්නා ආකාරය සිලිඳුලා, බබුන්ලා ගේ කඳුළුවලින් සටහන් කර තබා ඇත. මානව වටිනාකම් තුට්‌ටුවකට මායිම් නොකරන ධනයෙන් සහ ආත්ම වර්ණනාවෙන් පිම්බුනු හිස්‌ මිනිසුන් ගේ නූතන හැසිරීම්, අපට මැනවින් වටහා දෙන්නට පුංචි මැණිකා ගේ අසරණ ජීවිතය හොඳටම ප්‍රමාණවත්ය. සමාජ අසාධාරණය වෙනුවෙන් නැගී සිටීමට චිත්ත ධෛර්යය සපයන එළඹුම සිය කුටුම්භය විනාශ කිරීම වෙනුවෙන් සිලිඳු අවි අතට ගැනීම සාධාරණය ඉටු කිරීමට නීතිය වසන්වීම තුළ කැලෑ නීතිය ඉස්‌මතු වීමක්‌ විදහා පෑමක්‌ පමණක්‌ නොවන අතර හෘද සාක්‌ෂිය සමග පොරබැදීම මිනිසෙකුගේ චිත්ත ස්‌වභාවය වෙනස්‌ වීමට බලපාන ආකාරය විශද කරයි.

තත්කාලීන ලෝක දේශපාලන වෙනස්‌වීම් සාහිත්‍යට නැගූ ලේඛකයන් අතර ඩී. එච්. ලෝරන්ස්‌, ඇන්ටන් චෙකෝෆ්, දොස්‌තයොව්ස්‌කි, මක්‌ෂිම් ගෝර්කි, ටොල්ස්‌ටෝයි ආදීන් තම රට තුළ සිදුවූ ආර්ථික හා සමාජ දේශපාලන වෙනස්‌වීම් ග්‍රහණයට නතු කර ගත් අතර තත්කාලීන මානව ක්‍රියාකාරකම්හි වෙනස්‌වීම් සිය සාහිත්‍යය වර්ණවත් කිරීමට ද යොදාගත්හ. 'බැද්දේගම', 'ගම්පෙරළිය' වැනි නවකතා අපේ හදවත් තුළින් මකා දැමිය නොහැක්‌කේ වර්තමානයේත් මේ චරිත දෘශ්‍යමාන වන නිසාම ද යන්න විමසුමට ලක්‌කළ යුතු වෙයි. මෙයින් ගම්‍යවන කරුණු අතර සමාජ විපර්යාස පිළිබඳ දුරදක්‌නා නුවණ දේශපාලනඥයන්ට ප්‍රථම සාහිත්‍යකරුවා විනිවිද දකින බවය. ලාංකීය සමාජය තුළ 1917, 1945, 1947, මෙන්ම 1971 දී ද, වටිනා තරුණ ජීවිත දහස්‌ ගණනක්‌ අපට අහිමිවීම, 1980 මහා වැඩ වර්ජනය, 1983 කළු ජූලිය, 1987 ජීවිත අහිමිවීම හා ජන ජීවිතය කඩා වැටීම මෙන්ම 30 වසරක්‌ තිස්‌සේ පැවති ඊළාම් යුද්ධය ආදිය තුළින් අභියෝගයට ලක්‌වූයේ මානව ජීවිතයේ පැවැත්මයි. මේ ඝාතනයන් සහ විනාශයන් හි පශ්චාත් සමය තුළ වුල්ෆ්ලා බිහි නොවුණත් ඔහු මේ සමාජ අසාධාරණයන් පිළිබඳ සේයාවක්‌ දුටු නිර්මාණ කරුවන් අතර පෙළට සිටුවිය හැකි මෙන්ම අනාගත පරම්පරාවන් කරා ද මෙහි සේයාවන් ගමන් කරන්නේ සන්තාන ගත ෙදවාචකයන් වශයෙන් නොවේ ද.

පොදු මනුෂ්‍ය ජීවිතයේ සැබෑ තොරතුරු අතර වන්නා වූ සුචරිතවත්කම්, දුෂ්ටකම් මෙන්ම කුහකකම් හා මෝඩකම් ද පිළිබිඹු කරන 'බැද්දේගම' වනාන්තරය මැද බිහිවන ගම, අවසානයේ වනය විසින්ම, ගිල ගන්නා ආකාරය මවා පාන්නේ, සොබාදහමේ සැබෑ ස්‌වරූපයත්, මානව ජීවිතයත් එහි ගූඪ භාවයනුත් ශූන්‍යත්වය හෙවත් අනියත දහමෙහි ස්‌වභාවයත් දාර්ශනික වියමනක ආකාරයෙනි


ඔබේ අදහස් ලියන්න

2 comments:

  1. ෆලෝ කරන්න ගැජට් එකක් දාන්න

    වර්ඩ් වෙරිපිකේෂන් අයින් කරන්න

    ReplyDelete