Thursday, May 9, 2013

හෙළදිව රාවණා මහ රජ

හෙළ ඉතිහාසය අසිරිමත් කළ, රාවණා නම් මහ රජ


‘රාවණෝ වීදිතෝ මය්හං ලංකා වාස්‍ය මහා පූරී
දාෂ්ටා පාරේ සමුද්‍රස්‍ය ති‍්‍රකූට ගිරි කන්දරේ ’ (රාමායණය*
රාවණා ගැන මම දනිමි ඔහු ගේ ලංකාපුරය ගැනත් මම දනිමි, එය පිහිටා ඇත්තේ, මූදෙන් එගොඩ පාර සමුද්‍රීය රටක් වන ලංකාවේ ත‍්‍රිකූට ගිරි කන්දෙහිය.
”ක‍්‍රිස්තු වර්ෂයට ඉහත එක් දහස් අටසිය වැන්නේදී ලංකාව ජන ගහනව තිබුණ බවත් රාවණ නම් රජ කෙනෙක් රාජ්‍යානුශාසනා කළ බවත් වාල්මිකී සෘෂීහු විසින් විරචිත රාමායණ නම් සංස්කෘත ග‍්‍රන්ථයෙන් පෙනේ. ‘ලංකාපති රාවණ කෘත අර්ක ප‍්‍රකාශම්” යනු යොදා ඇති සංස්කෘත වෛද්‍ය ග‍්‍රන්ථයක් දක්නා ලැබෙන හෙයින් රාවණ රජ විචක්ෂණ පණ්ඩිතයෙකු බවත්  ඕහට ‘ දසිස් ’ යන නාමය ව්‍යවහාරවූයේ එ් නිසා බවත් සිතිය හැකිය. ”(ගෞරවනීය තියඩෝර් ජී පෙරේරා උන්නාන්සේ විසින් සංගෘහිත, සිංහල භාෂාව, පි. 4, 1945, ගුණසේන*
ප‍්‍රාග් ඓතිහාසික සමයට අයත් පුරාණ කථා අනුව මහත් තේජසින් හා බලපරාක‍්‍රමයෙන් යුතුව මෙරට රජය කළ ‘රාවණ’ තෙමේ ”පුලස්ථි” මහර්ෂීහුගේ මුනුපුරා ය. සප්තර්ෂී ගණයට අයත් පුලස්ති ලංකාවේ, ඉන්දියාවේ
පමණක් නොව ඈත පෙරදිග රටවග් රැුසක ම සිය අණසක පැවැත්වූවකු ලෙස සැලකේ. සෘෂි කුලයක නායකයකු වූ ඔහුට හා ඔහු ගේ මුනුපුරු රාවණා රජුට සංස්කෘත භාෂාව පිළිබඳ විශිෂ්ට විශාරදත්වයක් තිබුණ බැව් නිසැක ය. මොවුනතුරින් රාවණ රජුන් පිළිබඳ ව එළවිය හැකි එක නිදසුනක් නම් ඔහු ගේ කෘති හැටියට හැඳින්වෙන කුමාර තන්ත‍්‍ර හා අර්ථ ප‍්‍රකාශ නම් වෛද්‍ය ග‍්‍රන්ථ දෙකකයි. ” චක‍්‍රපාණි” ආදි භාරතීය වෛද්‍ය විද්‍යාඥයන් සංස්කෘතයෙහි හා
වෛද්‍ය විද්‍යාවෙහි රාවණයන් ගේ වෛශාරද්වය එක හෙළා පිළිගෙන ඇත. (අනුරපුර සමයේ සකු පුබුදුව, පණ්ඩිත තෙරිපැහැ සෝමානන්ද හිමි, (1960,රසවාහිණී නිකිණි කලාපය*
”ලංකාවේ රාවණා ඇල්ල, රාවණා කොටුව, කැලණියේ විභීෂණ දේවාලය ආදිය රාවණ වෘතාන්තයට අදාළ සාධක වශයෙන් සමහරු පෙන්වති, විභීෂණ ඇදහීම බුදුසමයට පෙර වුව ද ලංකාවේ පැවති බව ආචාර්ය අධිකාරම් පවසයි; පණ්ඩුකාභය යුගයට සම්බන්ධ වෙස්සවණ සහ රාමායණයෙහි දැක්වෙන කුවේර යන දෙදෙන ම එක් අයෙකු බවට විශ්වාසයක් ද ගොඩනැගී ඇත. මේ විශ්වාසය කුමන යුගයක තහවුරු වී ද යනු කීම අපහසු ය. රාජාවලියෙහි සඳහන් අන්දමට බුදුරදුන් ලොව පහළ වීමට වර්ෂ 1844කට පෙර වී යැයි කියන රාවණ යුගය කෙසේ වෙතත් මහාවංශය රචිත කාලයේ සිට වර්ෂ 1000කට පමණ පෙර සිදු වූ ලංකාවේ ආර්යාවර්තනය පවා විශ්වාස කළ හැකි තත්ත්වයකින් සටහන් වී නැත; රාවණ සංගීතයෙහි නිපුණත්වයක් ලබා සිටි කෙනෙකු වශයෙන් ප‍්‍රචලිත යි. ඉන්දීය ජනවේදය අනුව රාවණස්ත‍්‍රම් භාණ්ඩය අළුවකින් වාදනය කළ යුතු ප‍්‍රථම භාණ්ඩය වෙයි. (ලංකාවේ සංගීත සම්භවය, සී. ද එස්. කුලතිලක, 1974*(කතුවරයා වංශ කතා සාහිත්‍යය අනුව මේ නමින් භාණ්ඩයක් නොවූ බව සඳහන් කරන අතර රාවණහස්ත බවත් එය රාවණගේ හිසට සමාන බවත් ආචාර්ය සැක්ස් මහතා උපුටා දක්වමින් සඳහන් කරන අතර, ‘වාදන දණ්ඩකින්’ වාදනය කළ යුතු තත් භාණ්ඩයක අදහස අනාර්ය ගෝත‍්‍රික අසුරයන්ට සම්බන්ධ කිරීම වැදගත් බවද ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.*
අපේ ප‍්‍රධාන ඉතිහාස ධාරාවට අයත් ”මහාවංශය”( ක‍්‍රි. ව. 436 දී පමණ මහානාම හිමියන් විසින් රචිත*ඇතුළු වංශ කතා හෙළි කර ඇති තොරතුරුවලින් ඔබ්බට දිගු ඉතිහාසයක උරුමයන් රැුසක් පුරාවිද්‍යාඥයින් විසින් මේ වන විට හෙළි පෙහෙළි කර ඇත. එනම් අදින් වසර 4400 ට එපිට යුගයේ මේ රටේ ජිවත්වූ මිනිසුන් සංවිධිත නිවාස සකස්කර ගෙන දිවි ගෙවූ බවත් ඔවුන් ලෝහ භාවිතයට පුරුදුව සිටි බවත්,(මෙරටට ඇතුළුවන යකඩ යුගයේ සංස්කෘතිය බලංගොඩ මානව සංස්කෘතික පිරිස සමග සන්නිවේදන සබඳතා පවත්වා ඇති බව ඉබ්බන්කටුව සුසාන කැණීම් මගින් ලැබෙන සාක්ෂි මත තහවුරු කරයි*රූප ලාවණ්‍ය පිළිබඳ උනන්දුවක් දැක්වූ බවත් මළවුන් ඇදහීම වැනි අභිචාර විධි වලට මෙන්ම සුසාන භූමි භාවිතයට පුරුදුව සිටි බවටත් හල්දුම්මුල්ල, රංචාමඩම, ඉබ්බන්කටුව ආදීබොහොමයක් ප‍්‍රදේශයන්හි සිදුකර ඇති කැණීම් මගින් තහවුරු කර ඇත.
ලකදිව මානව ජනාවාස බිහි වීම පිළිබඳව දිගු කාලීනව පර්යේෂණයන්හි යෙදෙන පුරාවිද්‍යාඥයන් අතර ආචාර්ය රාජ් සෝමදේව ශූරීන් සඳහන් කරන්නේ, ලිඛිත සාධක නොමැති වුවද පුරා වෘත හා වංශ කතා හෙළි කරන තොරතුරු පර්යේෂණයකින් තොරව බැහැර කළ නොහැකි බවයි. මෙතෙක් සිදු කර ඇති පර්යේෂණ අනුව රංචාමඩම ඉහළ කැණීම්වලින් පුරාණ නිවසක නටඹුන් ලැබුණ බවත්. එහි ගෙබිම ගල් අතුරා කාමර වෙන්කර, රවුම් කණු සිටවූ අත්තිවාරමක් සහිත වරිච්චි බැඳ තිබෙන්නට ඇති බවට විශ්වාස කළ හැකි බවයි. තවද, කහඳ භාවිතයෙන් සැකසූ මධ්‍යම ප‍්‍රමාණයේ කැපුම් ආයුධ, යකඩ කූර, ශෛලි ගත ටෙරා කොටා ගව රූපය, ගෘහාශ‍්‍රිතව වැඩුණු සතුන්ගේ ඇට කටු, ලිප වටා වූ කළු වලං කැබලි ආදිය තුළින් මෙම පුරාණ නිවෙස දිගු අතීතයකට නෑකම් කියන බවත්, එය කාබන් කාල නියමය අනුව, එකී නිවසේ ලිප අවසන් වරට නිවී ගොස් ඇත්තේ ක‍්‍රි. පූ. 1120 දී පමණ වන බවත්, එනම් අදින් වසර 3130 කට පමණ පෙරදී බවත්ය.
මාතෘකාගත කරුණට අනුව හෙළදිව ඉතිහාසය සොයායාමේදී රාවණ යුගය පිළිබඳ කියවෙන සත්‍යාසන්න සහ පුරා වෘත හැරුණ විට ස්ථිර වශයෙන් සනාථ කරන කරුණු මෙතෙක් හමුවි නැතත් මෙම පුවත කිසිසේත් අපට බැහැර කළනොහැකි බව නන්විිධ සාධක පවතින බව ප‍්‍රත්‍යක්ෂය. ලක්දිව මෙතෙක් පුරා විද්‍යාත්මක කැණීම්සිදු කර ඇති බොහොමයක් ප‍්‍රදේශ සමග රාවණා රජු සම්බන්ධ විවිධ ජන ප‍්‍රවාද සමග බැඳී පවත්නා තොරතුරු හා පවතින සබැඳියාවන් පිළිබඳ මේ වන විට පුරා හා මානව විද්‍යාඥයින් ගේ අවධානයට ලක්ව ඇති බව විශ්වාසිතය.
ලක්දිව ජනාවාස කරණය පිළිබඳ ඉතිහාසය විජයාවතරණයෙන් එපිට යුගයකට අයත් බවට මානව හා පුරා විද්‍යාඥයින් විසින් සාධක සහිතව මේ වන විට ඔප්පුකර හමාරය. මේ සම්බන්ධයෙන් සාහිත්‍ය මූලාශ‍්‍රවලට පැවති වැදගත්කම අභිබවා පුරා විද්‍යාත්මක සාධක මතු වෙමින් පවතින බව අමතක නොකළ යුතුය. පාහියන්ගල ලෙන් කැණීම් තුළින් ( 1986 - 1988* පුරා විද්‍යාඥයින් තහවුරු කර සිටියේ අදින් වසර 125,000 - 300000 හෝ ඉන් ඉහළ වකවානුවක මෙරට ජනාවාස තහවුරු වි ඇති බවයි.
ක‍්‍රිස්තු පූර්ව යුග පිළිබඳ විමසන ඓතිහාසික සාධක අතර වංශ කතා, පුරාවෘත, සෙල්ලිපි, මෙන්ම පුරා විද්‍යාත්මක ගවේෂණ අති මහත් සේවාවක් ඉටු කරන් ලබයි. එමෙන්ම මෙම භූමියෙහි තැනින් තැන කලින් කළ මතු කරන්නාවූ විවිධ ලක්ෂණ, යම් යම් වස්තූන් මත සළකුනු කළ විවිධ ලාංඡුන මගින්, එතෙක් මතු කර ගත් ඉතිහාසය වෙනස් කිරීමට තරම් ප‍්‍රබල වන ආකාරයන් ද විශදවන තවත් සුවිශේෂත්වයකි බව පැහැදිළිය.
සෙල්ලිපි මගින් අනාවරණය කර ගත් බොහෝ කරුණු අතරින් මත්ස්‍ය ලකුණ පිළිබඳ අධ්‍යයනය කළ ප‍්‍රාමාණික අගතුන් එය කළ්‍යාණ රාජ්‍යයෙහි ලාංඡුනය වශයෙන් සනාථ කර ගත්හ.
බෝවත්තේගල, කොටාදැමූහෙල පවතින ශිලා ලේඛනයන්හි සටහන්ව ඇති මත්ස්‍ය ලාංඡුනය පිළිබඳ පරණවිතාන සුරීන් පවා පිළිගෙන ඇත්තේ එය කැලණි රජ පරපුරේ රාජ්‍ය ලාංඡුනය බවයි.
මෙම පුවත සමග මෙතෙක් අනාවරණය කර ගෙන ඇති ප‍්‍රකට ස්ථාන වශයෙන් රාවණා ඇල්ල ප‍්‍රදේශය, බණ්ඩාරවෙල දෝව කලාපය, නුවරඑළිය සීතා එළිය, හග්ගල උයන, ඉසුරුමුණිය, රාගල, මහියන්ගණය,සීගිරිය, මන්නාරම, පුලතිසිපුර, ගෝකණ්ණපුර, අරණායක අම්බල කන්ද, තොටුපොළ කන්ද, (යාල බඹරගස්තලාව රජමහ විහාර සෙල්ලිපිය* (රාවණ මාළිගාව පිහිටි රාවණ කන්ද* මාරගල කන්දේ භූ ගත රාවණා දෙවොල ආදී ප‍්‍රදේශයන් හා සබැඳිව අසන දකින දේ පිටුපස පවතින ඉතිහාසය නම් සුළු පටු නොවනු ඇත.
දෙස් විදෙස් ඉතිහාසඥයින් සහ ලේඛකයින් ගේ ද අවධානයට ලක්ව ඇති මෙම පුවත පිළිබඳ ඔවුන් ගේ තත්කාලීන සටහන් මගින් ද, වැදගත් තොරතුරු හෙළි කරනු ලබයි.
 ‘‘ ලිඛිත ඉතිහාසයට පූර්ව යුගයෙහි ද නුවරඑළිය ඓතිහාසිකවශයෙන් අතිශයවැදගත් ස්ථානයකි. රාවණ රජුගේ විනෝද උද්‍යානය පිහිටියේ මෙහි ය. හිස් දහයකින් විරාජමාන වූ ලංකාධිපති රාවණා රජු රාම කුමරුගේ මනාලිය වූ සීතා පැහැරගෙන ආවේය. මේ ප‍්‍රවෘතිය රාමායණය නැමැති ඉපැරණි කාව්‍යයට වස්තු බීජය වී ඇත. යනුවෙන් ‘අසිරිමත් සිරිලක් පවත කෘතියෙහි සඳහන් කරන වින්ටන් ලිඞ්ල් පිකන්ස් නම් සුදු ජාතික ලේඛිකාව එහි තව දුරටත් මේ සම්බන්ධයෙන් දක්වන්නේ, භාරතීය කවියෙකු වූ වාල්මිකී ගේ රාමායණය අර්තුරියනයට වඩා සියවස් ගණනක් පැරණි බවත් මර්ලින් ගේ ඇස්බැන්දුම්
සහ වංශාධිපතියාගේ මකර දඩයමට වඩා රසාලිප්ත බවත් රාමායනයේ කතා ප‍්‍රවෘති සහ  චරිත දෙවැනි එළිසබෙත් රැජින පිළිබඳ තොරතුරුවලට වඩා ලාංකික ජනතාවට සමීප බවත්, නුවර එළිය හා හග්ගල වනෝද්‍යාන අතර ප‍්‍රදේශයේ කුඩා දෙවොලක් පවතින බවත් එම දෙවොල ඉදිරිපස ප‍්‍රදේශයේ නිරතුරුව විවිධ මල් වර්ග පිපෙන බවත් රාවන රජ සීතා කුමරිය පැහැර ගෙන අවුත් සඟවා තැබුවේ මෙම පෙදෙසේ බවත්, මෙම පුවත හේතුවෙන් පවතින ජනප‍්‍රවාද අනුව පූජ්‍යත්වයට පත් මෙම පෞරාණික ගම්මානය සහිත තැනිතලාව සහ උස් කඳුකරයෙහි පිහිටි තැනිතලාව අද සම්පූර්ණයෙන්ම ඉංග‍්‍රීසි ජාතිකයන් සතු බවත්ය. ඔවුන් මෙරටට කොතෙක් වශී කෘතව සිටියේද
යන්න; ‘ බ‍්‍රිතාන්‍යයන් මෙරටින් බැහැර ගිය ද මේ ප‍්‍රදේශය ඉංග‍්‍රීසි ජාතිකයන් සතු බවටත් මෙහි දේශගුණය හා ස්වාභාවික පරිසරය තම මාතෘ භූමියට බෙහෙවින් සමාන බවක් දක්වන බවත් යනාදී සඳහන් තුළින් මනාව ප‍්‍රකට වෙනු ඇත.   
සංස්කෘත සාහිතය විමසීමේදී රාවණ නම් රජු පිළිබඳ විස්තර වාර්තා ගතව ඇත. රාමායණය, මහා භාරතය, රඝුවංශය, ජානකීහරණය, ශිශුපාලවධ වර්ගපූර්ණිකාව යන කෘතීන්හි පමණක් නොව රාජාවලිය, මන්දාරම් පුවත, මහාවංශය යනාදී වංශකතා සාහිත්‍ය විසින් රාවණා රාජධාණියක තතු සඳහන් වෙයි. මිට අමතරව රාවණ හටන, කෑගලූ වාර්තාව, කුරුණෑගල විස්තරය ආදීන්හි ඇතුළත් තොරතුරු අපට බැහැර කළ නොහැකි බව සඳහන් කළ යුතුය.  එමෙන්ම මහායාන ධර්ම සූත‍්‍රයක් වන ලංකාවතාර සූත‍්‍රයෙහි සඳහන් වන්නේ, රාවණා රජු කාශ්‍යප බුදුන් දවස සමන්ත කූඨ පර්වත මුදුනට පුෂ්පක යානයෙන් සපැමිණි බවය.
පුලතිසි සෘෂි වරයා ගේ පුත් වෛශ‍්‍රවවණට (විශ‍්‍රවස් මුණි* දාව උපන්පුත‍්‍ර රාවණ ගේ සහෝදරයන් වශයෙන්, විභීෂණ, කුම්භකර්ණ, වේරාවණ,¥ෂාණ මෙන්ම සහෝදරියන් වශයෙන් සුපර්ණිකා සහ කුම්භාණි සහ භාර්යාව වශයෙන් සුමාලි රජුගේ සහ පුෂ්පොත්කටා කුමරියගේ දියණිය කයිකේෂී (කේශිණී* නම් මව ගේ දියණිය මන්දෝදරී කුමරිය ද කුවේර යනු වෛශ‍්‍රවණ ගේ පූර්ව බිරිඳ( ඉල්ලාවිලා දේවිය* ට දාව උපනනෙකු වශයෙන්ද මාමණ්ඩිය කාළනෙම් සෘෂිවරයා ද රාවණගේ පුතා මේඝනාද නමින් ද දියණිය ශොහිලි නමින් ද ඉතිහාස සටහන්වල වෙයි.
රාවණ කුමරු ගෝකණ්න ප‍්‍රදේශයේ දිගු කලක් භාවනා යෝගීව සිටි බවත් බල සම්පන්න මෙන්ම වෛශාරද්‍ය භාවයන් ගෙන් අගතැන් පැමි’ බවත් වෙදකම, කලාව ආදී දේහි අග‍්‍ර වූ බවත් දස රාවණ සංකල්පය ප‍්‍රකට කරනු ලබයි. දිග් විජයෙහි අධිපති මෙන්ම තාරකා විද්‍යාව පිළිබඳ දැනුමෙන් මෙන්ම රූප ශෝබාවෙන් ද අගතැන් ලද රාවණා රජු රටවල් රාශියක් යටත් කර ගෙන සිට බවද රාජාධි රාවණ නාමය සිහිපත් කරනු ලබයි.
පුරාණ ලක්දිව විසූ, යක්ෂ, නාග, දේව, රාක්ෂ ජන වර්ග පිළිබඳ අරුත් සපයන ඇතැම්හු පිළිවෙලින් යකඩ භාවිත කළ, නාවිකයින්, පාලන කටයුතු හා සබැඳියන්, කුස් රක්ෂා කළ හෙවත් ගොවිතැන්හි නිරත වූ පිරිස් (නූතන ගොවිගම කුලය සිහිපත් කරවයි*
මානව වර්ගයා සංවිධානාත්මක ගොවි යුගයට පිවිසෙන්නේ ක‍්‍රි. පූ. 9000 ට තරම් එහා යුගයක බව මානව හා පුරා විද්‍යාඥයින් මේ වන වි තහවුරු කර ඇත. ශිෂ්ටාචාරයේ ප‍්‍රගමනයට මුල්වූ ප‍්‍රමුඛ සාධකය වන ගොවිතැනට
පිවිසෙන්නේ, වසර 20,00000 තරම් කාලයක් දඩයක්කරුවන් වශයෙන් තැනින් තැන ඇවිදීමේ පුරුද්දට නැවතීම සනිටුහන් කරමිනි. ගොවිතැනට හුරු පුරුදු වූ මිනිස්සු කිසියම් ස්ථිර භූමියක නැවතී එහි වගා කිරීම අරඹා ගම්මාන බිහි කළ අතර ඔවුන් විසින් සත්ව පාලනයත් වැවිලි කර්මානතයත් හේතුකොට නිපදවූ ආහාර ප‍්‍රමාණය බෙහෙවින් වැඩි වු අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් බොහෝ දෙනාට වැඩි නිදහස ලැබීම මත ඔවුන් තුළ පැවති විවිධ කුසලතා අවදිකර ගැනිමට අවස්ථාව ඉබේම සැලසෙන්නට ඇත. මේ තුළින් විවිධ කර්මාන්ත බිහිවූ අතර දක්ෂ මිනිසුන්වැඩි වශයෙන් ජිවත්වූ ගම්මාන ප‍්‍රධාන නගර බවට පත්විය. ශිෂ්ටාචාර බිහිවූයේ මේ මහා නගරවලින් වෙයි.    
පිය උරුමයෙන් හෙළ සිහසුන උරුම කර ගත් කුවේර ආලකමන්දාවක විසූ බවත් එය වෛශ‍්‍රවණ ගේ නියෝගයෙන් සදන ලද්දක් බවත් රාවණා සිය බලය වර්ධනය වීමෙන් පසු කුවේර මරා රාජ්‍යයත් පුෂ්පකයානාවත් තමා සතු කර ගත් බව පුරාවෘත යන්හි සඳහන් වෙයි. ඇතැම් උගතුන් ගේ මතය වී ඇත්තේ මෙම ආලක මන්දාව වත්මන් සීගිරිය බවයි.
භාරතීය ආගමික සංස්කෘතියෙහි එන ද්වාරවතී නගරය මුල්කර ගෙන විසූ කෘෂ්ණ රජ හා බැඳුන පුරා වෘතයක සඳහන් වන්නේ, ද්වාරක නගරය මිනිසුන් විසින් ඉදි කරන ලද්දක් නොවන බවත්. එනම්, කෘෂ්ණ විසින් තෝරා ගත් ස්ථානයෙහි, දෙව්ලොව නිර්මාණ ශිල්පී විශ්වකර්ම විසින් සැලසුම් කොට නගරය තැනූ බවත්. විශ්වකර්මගේ සැලසුම්, කයිලාසයේ ශිවගේ සහ පාතාලයේ කුවේරගේ සේවක පිරිස විසින් ක‍්‍රියාවට නැංවු බවත් ය. ද්වාරක ශුද්ධ නගරය කෘෂ්ණ වෘත්තානතයේ වැදගත් නතරයක් මෙන්ම වත්මන් සීගිරිය කුවේරගේ ආලක මන්දාව වශයෙන් ද ඉතිහාස සටහන්වල වෙයි.
සංස්කෘත සාහිත්‍යයෙහි අලංකාරෝක්තිය හා අතිමානුෂික හාස් කම්වලින් නායක කාරකාදීන් හැඳින්වීම සිදු කළ බව සත්‍යයකි. බෞද්ධ සාහිත්‍යයෙහි බුදුන් වහන්සේ පවා අති මානුෂික දෙවියෙකු ලෙස හැඳින්වු අවස්ථා එමටය.  
බල සම්පන්න භාවය මූර්තිමත් කළ කලා කරුවන් අත් සහ හිස් දස ගුණයකින් වැඩි කළ බවත්, යුද්ධයෙහි දක්ෂයෙකුවූ රාවණා රජු ගේ කොඩිය ඌව
වෙල්ලස්ස සටනේදී පෙරමුනේ ළෙල දුන් බව මන්දාරම් පුවතිනුත්  හෙලිවෙයි. රාවණා රාජ්‍ය අවදිය හා තත්ත් යුගයේ සිදුවීම් පිළිබඳ දේශීය හා විදේශීය වශයෙන් කරුණු අධ්‍යයනය කරන විද්වත්හු හෙළදිව දියුණු ශිෂ්ටාචාරයක් පැවති බවට සාධක පෙන්වා දෙති.
යුප‍්‍රටීස් සහ ටයිග‍්‍රීස් යන ගංගා අතර පිහිටි දෙගංමැද රාජ්‍ය ලෙස හැඳින්වූ බැබිලෝනියාව හෙවත් මෙසපොතේමියාව ආසියාවේ මුලින්ම ශිෂ්ටාචාර ගතවූ මිනිසුන් ගේ වාස භූමියක් බවට තහවුරු වි ඇත. එවන් භූමියක් විසූ ජන කායක් සමග සබඳතා පවත්වා ඇති පුරාණ හෙළයන් පිළිබඳ තත් යුගය විමසිමේදී සපයන පිටු බලය සුළු පටු නොවනු ඇත. 
සිංහ කොඩියෙහි දැක්වෙන අතින් කඩුව ගත් තුන් පයින් නැගී සිටින සිංහයා සහිත ලාංඡුනය බැබිලෝනියාවේද දක්නට ඇති බවත් බැබිලෝනියාවේ මෙන්ම ලක්දිව කල්‍යාන ප‍්‍රදේශයේ ද නාවික වරායක් පැවති බවටත් කරුනු දක්වන ආචාර්ය සූරිය ගුණසේකර සූරීන් ලොව ලේඛන ගත පැරණිම ශිෂ්ටාචාරය වන බැබිලෝනියාවෙහිද ලංකා සිංහ ලාංඡුනය සමානත්වය නිසා හෙළ ඉතිහාසය වසර 5500 ක් හො ඊට වඩා පැරණි බවට මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද සූරීන් උපුටා දක්වමින් පෙන්වා දෙයි.
වාල්මිකී පඬිවරයා අලංකාරික වර්ණනයෙන් රාමායනය තුළ හොබවන රාම රාවණා ප‍්‍රවෘත්තිය සමග ඉමහත් පුරාවෘත රැුසකින් තවදුරටත් ආරක්ෂා කර ගෙන එන මේ පුවත බටහිරයන්ගේ තර්කවාදයේ යථාර්ථවාදී මිනුම් දඬුවලින් මැනීමට දරන ප‍්‍රයත්නයන් වායු බලයෙන් ක‍්‍රියා කරන ලද පුෂ්පක යානය හෙවත් දඬුමොණර යන්ත‍්‍රය හමුවේ වෙනත් මානයන් කරා යොමුව ඇති බව පෙනේ. වංශකතා වලින් බැහැර භාරතීය ජනයා ගේ සිත් සතන් තුළ සදාකාලික කර ඇති රාම රාවණා ප‍්‍රවෘතිය ඔවුන්ගේ ජීවිත තව දුරටත් අවියෝජනීය කරීිමට සමත්ව තිබීමද දුරවබෝධයට මනා පිටු බලයක් නොවේද. යථාර්ථය සහ මිත්‍යා කතා සමග පෙරට පැමිණ ජනතා සිත් කුහර තුළ අමරණීය කර ඇති රාවණා පුවත දිග හැරෙන්නේ, 
රාම රාවණා වෘත්තාන්තයට අනුව, සතුන් මරා යාග හෝම පැවැත්වීම රාවණ රජු විසින් තහනම් කර තිබියදී විශ්වමිත‍්‍ර විසින් රාම කුමරු ලවා යාග පිදුමට බාධා කළ රකුස් ජනයා 12000 ක් මැරවීමත්, ඊට ප‍්‍රති ලාභ වශයෙන් ඔහුට මිථිලාවේ ජනක රජුගේ තෙද බලැති දුන්න නම්වා සීතා කුමරිය ලබා දිමයි.( වීරත්වය ප‍්‍රකට කිරීම භාරතීය සංස්කෘතියේ එන සිදුහත් කුමරුගේ සරණ මංගල්‍යය අවස්ථාව සිහිපත් කරවනු ඇත*
රාවණ රජු ගේ සොයුරිය සුපර්ණකා (දිගු නිය ඇත්තී* දණ්ඩක වනයේ ආරක්ෂක කටයුතු පාලිකාව වශයෙන් යොදවා සිටිය දී අවිහිංසාව රජයන ආරණ්‍යයකට දුනු හී අත් දරා රාම සහ ලක්ෂමණ යන් ගේ ඇතුළුවීම ප‍්‍රශ්න කිරීමට ලක්විය. ක්ෂණිකව ලද රාම ගේ අනුමැතියෙන් ලක්ෂමණ ඇයගේ නාසය සහ කණ කපා දැමීය.
මේ ආකාරයෙන් සුපර්ණකාට වද හිංසා කිරීම පිළිබඳව  අනුන්ට දුක ඇති කරන්නේ තමුන්ට දුක පිළිබඳ අවබෝධයක් නොදැනීම යන මානසික පීඩාවේ තරම අවබෝධ වන්නට රාවණ රජු වහා ක‍්‍රියාත්මක වී සීතාව පැහැර ගෙන විත් සඟවා තබන්නට යෙදුන බව ප‍්‍රකටය. රාවණ මුල් කාලයේ පටන් තවුස්දම්
ආරක්ෂා කළ දැහැමි චරිතයක් ලෙෂ ඉතිහාස ගතව ඇති අතර තුඩු දුන් සිද්ධිය අනුව චිත්ත පීඩාවේ තරම අවබෝධ කරනු වස් සීතාව පැහැරගෙන ආවත් ඇය ආරක්ෂා සහිතව රඳවා තැබූ අතර සීතා රාම ඉදිරියේ දැවෙමින් පැවති ගින්නට පැන තම පතිවෘත්තාව පිළිබඳ හෘද සාක්ෂිය ඔප්පු කිරීමෙන් රාවණ ගේ දැහැමි බව ඔප්පු වෙනවා ඇත.
වාල්මිකී විසින් රාම චරිතය වීරත්වයෙන් මතු කර රාවණ චරිතය ඝාතනය කළද, රාම විසින් සීතා කුමරියට, ඔහුට දාව දරු පිළිසිඳ ගැනීමක් තිබියදීත් අයෝධ්‍යාවෙහි හුදෙකලා කිරීම හා පසු කාලීන සිදුවීම් තුළින් ඝාතනය විය යුතු චරිතය කුමක්ද විමසිය යුතුය. අයෝධ්‍යා වනයේ ඇගේ විලාපය ඇසුන වාල්මිකී මුනිවරයා විසින් තතු විමසා තම අසපුවට ඇය කැඳවාගෙන ගොස් රැුකවරණ ලබා දී ඇති අතර කල්යාමේදී ලද ඇගේ ලව සහ කුස යන දෙදරුවන් හට සියළු විද්‍යාවන් උගන්වා රාමායණ කාව්‍යය පාඩම් කරවන ලදී.
මේ අතර රාම විසින් රාවණා ඝාතනයෙන් සිදුව ඇති පාපයන් ගෙන් මිදීමට අශ්වමේද යාගය පැවැත්වීමට සූදානම් වූ අවස්ථාවේ මෙහෙසියක ගේ අඩුව පිරවීමට සීතා ගේ රුව රණින් නෙළු බවත් යාග භූමියට මුනිවරයා සමග පැමිණි දෙදරුවන් ඔහුගේ අනු දැනුමින් යුතුව වීණා වාදනය කරමින් රාමායන කාව්‍යය ගායනා කළ බවත් රාම විසින් දරුවන් පිළිබඳ විමසීමේ දී ඔවුන් රාමගේ දරුවන් බව සැළ කළ බවත් අනතුරුව සීතාව කැඳවා ඇයට සති පූජාව කිරිමට අණ කිරීමෙන් (දැවෙන ගින්නට පැනීමේ චාරිත‍්‍රය* කම්පා වූ මහ පොළොව දෙබෑවී ඇය කැටුව යාමත් රාම විසින් ලක්ෂමණ කෙරෙහිද වෙනස්ව සිතීමේ වේදනාවෙන් ඔහු සරයූ ගංගාවට තම ජීවිතය පූජා කළ බවත් අවසානයේ කම්පාවට පත් රාම ද එම ගංගාවටම පැන දිවි නසා ගැනීම යන ප‍්‍රවෘතිය හමුවේ රාම රාවණ යුද්ධයට තුඩු දෙන සිදුවීම හා ඉන් පසු ක‍්‍රියා දාමය පිලිබඳ යුක්ති ගරුක විනිශ්චයකටවඩා භාරතීය සම්ප‍්‍රදාය ආරක්ෂා කිරිමක් පිළිඹිබු කරන බවක් විශද කරයි.
රාම රාවණ යුද්ධයේ දී හනුමන් ගේ වානර හමුදාව නොසිටින්නට රාම ජය නොලබන බව සනාත කරන තොරතුරු අතර ඔවුන් යක්ෂ ගෝත‍්‍රිකයන්ට වඩා පෞරුෂයෙන් බලවත් බව ද කියවෙයි. එමෙන්ම රාවණයන්ට එරෙහිව පැමිණියේ රාම, ලක්ෂමණ සහ හනුමන්තාද පෙරටු කර ගත් හමුදාවකි.
කොතෙක් ශක්ති වන්ත වුවද රාම මෙන්ම ලක්ෂමණද රාවණාගේ හී සැරයෙන් මිය ගිය බව ඉතිහාස සටහන්වල වෙයි. තව ද, හනුමන්තා ගෙනෙන ලද බලගතු බෙහෙත් ඖසධය නොලබන්නට ඔව්හු යළි ජීවය නොලබනු ඇති
බවත් සඳහන්ය. (හනුමන් ගන්ධමාන පර්වතය ගෙනැවිත් සුශේන වෛද්‍යවරයා අභිමුඛ කිරිමෙන් පසු හෙතෙම සංජීවනී පැලෑටිය සොයා ගන ඇත. (ඖසධය**

රිටිගල, රූමස්සල යන භූමි කලාපයන්හි වෘක්ෂලතා, පාංශු මෙන්ම පාශාණ යන්හි වෙනස පිළිබඳ ප‍්‍රවාද තුළින් මතු කරන්නේ හනුමන් අතින් ගිලිහී ගිය භූමි කොටස් වශයෙනි. කෙසේවුවද අගනා ඖෂධ පිළිබඳව අධ්‍යයනය කර ප‍්‍රයෝජනයට ගැනීමේ දුර දක්නා වැඩ පිළිවෙළක් තත්යුගයෙන් පසු නිර්මාණය වි නොමැති බව නම් ප‍්‍රත්‍යක්ෂ කරුණකි. 
මේඝය මෙන් සෝභා සම්පන්න, ව්දුලිය සේ වේගවත්, ජල බිය ගිනි බිය නැති, ගමනා ගමනයට අධිපති වශයෙන් සුවිශේෂී බවක් අත්පත් කර ගෙන සිටි හනුමන් පිළිබඳව ද, භාරතීය ඉතිහාසය පීරා කරුණු අධ්‍යයනය කර ඇති විද්වතුන් අතර, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න ශූරීන් ද, විශේෂයෙන් සඳහන් කළ යුතුය. 
‘‘එක් සොඳුරු දිනක අංජානි එ් කීර්තිමත් වඳුරු පුත‍්‍රයා ප‍්‍රසූත කළා ය. ලෝක වාසීහු ඔහුට විවිධ නම් තැබූහ. අංජානිගේ පුතු නිසා අංජානි සුත කියාද අංජනේය කියාද කීවෝය. ඔහුට පියවරු තිදෙනෙක් වූහ. මවුගේ ස්වාමි පුරුෂයා වූ කේසරී, මවු කුෂ ශුක‍්‍ර බීජය තැන්පත් කළ වායු, ශුක‍්‍ර බීජය හිමි ශිව ආදී වශයෙනි. කේසරීගේ පුතු වූ නිසා, කේසරී නන්දන් යැයි කීවෝය. වායු දෙවියන්ගේ පුතු වූ නිසා වායු පුත‍්‍ර, පවන් පුත‍්‍ර, මරුති, වායු, පවන්, (මාරුත යනු සුළඟය, වායු දේව යනු සුළඟට අධිපති දෙවියාය* යැයි කීවෝය. ශිවගේ පුතු වූ නිසා රෞද්‍රේය යැයි කීවෝ ය. විශාල හනුවක් සහිතව උපන් නිසා හනුමන්හෝ හනුමාන් යැයි කීවෝ ය.
හනුමන් යක්ෂයන්ට වඩා පෞරුෂයකින් හෙබියේ ය; විද්‍යාධරයන්ට වඩා ප‍්‍රඥසම්පන්න වූයේ ය; කින්නරයන්ට වඩා දක්ෂ හා ක‍්‍රියාශීලී වූයේ ය; ගාන්ධර්වයන්ට වඩා සුන්දර වූයේ ය; සුරයන්ට වඩා බල සම්පන්න වූයේ ය; අසුරයන්ට වඩා නිර්භීත වූයේ ය;’’ (හනුමන් නැමැති වඳුරු දෙවියා, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න, පි. 94, 2011, ගොඩගේ*
යථාර්ථය සමග මිථ්‍යා සහ පුරා කතා ද මුසුව මෙම රාම රාවණා පුවත හෙළ දීපය හෙවත් ලාංකීය සහ භාරතීය ජනයා ගේ හදවත්හි අමරණීය ලෙස සනිටුහන්ව පවතින අතර වරින්වර මතු කරන ඓතිහාසික වටිනාකම් එය සදා කාලික කරන්නට සමත් වන බව සපථ කළ හැකිය.
රාවණා යුගයේ පැවති අභිමානය හෙවත් දුරාතීතයක ජීවත් වූ මිනිසුන් ගේ ඥන සම්භාරයන් පිළිබඳ මානව හා පුරා විද්‍යාත්මක පර්යේෂණයන් මගින්
වටිනා තොරතුරු  හෙළි පෙහෙළි වන දිනය එතරම් ඈතක නොවන්නට පුළුවන. එය ලාංකීය ජනතාවට අභිමානයෙන්  මෙන්ම සාමූහිකත්වයෙන් නැගී සිටීමට බලගතු පිටුවහලක් වනු ඇතැයි විශ්වාස කළ හැකිය. එහෙත් ඒ සම`ග යම් යම් මිථ්‍යා මත සංකලනය වීම මෙම ඓතිහාසික පුවතට නිගාවක් විය හැකිය.


සුනිල් කුමාරසිංහ අතුකෝරල 

 ආශ‍්‍රීය කෘති සහ ලේඛන :-
ලංකා ඉතිහාසයේ හෙළ යුගය, ආචාර්ය සූරිය ගුණසේකර,2007
ශ‍්‍රී ලංකා රාවණ රාජධානිය, ආරියදාස සෙනෙවිරත්න,1991
ශ‍්‍රී රාවණ්ණා පුවත,(හෙළ යක් පරපුරේ කතාව* භද්‍රජී මහින්ද ජයතිලක,1997
දකුණු බුදු සිරිපතුල පිහිටි මක්කම සහ රාවණ රජු ගේ සෙල්ලිපි, ජයරත්න පතිරආරච්චි,2005
රාවණ වංශ කතාව සංස්කරණය – 1, (අමුද්‍රිත*, සුනිල් කුමාරසිංහ අතුකෝරල,
හනුමන් නැමැති වඳුරු දෙවියා, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න, 2011
ගෞරවනීය තියඩෝර් ජී පෙරේරා උන්නාන්සේ විසින් සංගෘහිත, සිංහල භාෂාව, 1945, ගුණසේන
ලංකාවේ සංගීත සම්භවය, සී. ද එස්. කුලතිලක, 1974
පුුරාතන ලංකාව, මීගොඩ පඤ්ඤලෝක හිමි, සදීපා
මහාභාරතය, අරණ්‍යක ප. 2 , තෙවැනි කොටස, හිරිපිටියේ පඤ්ඤාකිත්ති හිමි,
සුන්දර කඳුකරයේ හක්ගල උයනට, සිළුමිණ, 2001.05.27 පි.19
සිරිලක පුරාතන යක්ෂ ඇදහිලි, දිවයින, 2002.10.30
ශ‍්‍රී ලංකාවේ ජනාවාසකරණය,සුනිල් කුමාරසිංහ අතුකෝරල,2011 මාර්තු 30 දිවයින බදාදා අතිරේකය
රසවාහිණී 1960 නිකිණි කලාපය





No comments:

Post a Comment