Monday, June 24, 2013


ජන ශ්‍රැතිය
ආධ්‍යාත්මික පෝෂණය උදෙසා පමණක්‌ ද?
සමාජවිද්‍යාත්මක හා සංස්‌කෘති අධ්‍යයනය විෂයක්‌ෂේත්‍රයන් ට අදාළව විමසුමක්‌

සුනිල් කුමාරසිංහ අතුකෝරල


http://www.divaina.com/2013/06/20/yaka.jpgමුඛ පරම්පරාගතව පැවත එන (සම්භාවිත) (genaration to genaration) මානව ඥාන සම්භාරය ජනශ්‍රැතිය යි. මිනිසාගේ දෛනික ජීවිතය තුළ ලද අත්දැකීම් මතින් ප්‍රභවය වී කටවහර ඔස්‌සේ තත් විෂය සමාජ ගතව ඇත. විවිධ කාරණා මුල් කර ගෙන යුරෝපීයයන් ජනශ්‍රැතියට අයත් කරුණු එකතුකරන ලද අතර එකල පුරාවස්‌තු මෙන්ම, මෙම විෂය ද (ජනශ්‍රැතිය) ඔවුන් ගේ එක්‌තරා ප්‍රිය ජනක සාහිත්‍යයක්‌ වශයෙන් ප්‍රකට වූ බව ඉතිහාස සටහන් අනුව මනාව ප්‍රත්‍යක්‍ෂ වෙයි. ජනශ්‍රැතිය යන්න ඉංග්‍රීසි folklore (folk සහ lore) යන පද දෙකෙහි අරුත් විමසමින් තනා ගත් පාරිභාෂික වදනකි. විලියම් තෝමස්‌ (C.William Thorms) විසින් (1846) ශබ්දකෝෂ ගත කළ මෙම වචනය තුළින් අතීතයේ පැවති සිරිත් විරිත් වත් පිළිවෙත් මිථ්‍යා විශ්වාස සැහැලි (කවි කතා) ආදිය ජන ශ්‍රැතිය යන්නට ඇතුළත් වන බව, ඇතේනියන් සඟරාවට ලිපියක්‌ ලියමින් පෙන්වා දී ඇත. ශික්‌ෂණයක්‌ වශයෙන් අකාලිකව දියුණු වූ ජනශ්‍රැතිය ජනයාගේ ඥාන සම්භාරය වශයෙන් ද විවරණය කෙරෙයි.

සමාජ හා මානව විද්‍යාඥයින්, ඉතිහාසඥයින්, පුරා විද්‍යා ගවේෂකයින් පෙන්වා දෙන්නේ ඉතිහාසය යළි ගොඩනැගීමේ දී නැත්නම් පූර්ව සංස්‌කෘතීන් සොයා යන ගමනේ දී තත් විෂය ඊට මනා පිටු බලයක්‌ සපයන බවයි.

''
පුරාණ මිනිසා සිය පරිසරය හඳුනා ගැනීම සඳහා අනුගමනය කළ අනුකරණය, භාවිත කරන ලද සංඥා හා බස යොදා ගන්නා ලද මායා කර්ම, පවත්වන ලද නර්තන විධි හා වෙනත් එබඳු දේ කෙරෙහි සිනා පහළ කිරීම විශාල වරදකි. එමෙන්ම මෙසේ සොබාදහමේ නියාම ධර්මයන් හඳුනා ගැනීමට වෙහෙස ගැනීමේ ප්‍රතිඵලයක්‌ ලෙස මානවයා සිය පරිසරය ජය ගත්තේය.'' ('අර්නස්‌ට්‌ පිෂර්')

සංස්‌කෘති අධ්‍යයන විෂය ක්‌ෂේත්‍රයෙහි දී, හැදෑරීමට ප්‍රයෝජනවත් වන මෙම විෂය (ජනශ්‍රැතිය) ක්‌ෂේත්‍රය මඟින් එකිනෙකට වෙනස්‌ සංස්‌කෘතික සමූහයන් හි පවතින ජනශ්‍රැති අංගෝපාංග සන්සන්දනය කිරීම පමණක්‌ නොව මානව වංශකතාවේ සීමා මායිම් ඉක්‌මවා මෙහෙයුම් කිරීමට දක්‌වන උපකාරීත්වය ද අගේ කළ යුතු ය. පෙරදිග හා අපරදිග වශයෙන් අධ්‍යයන කළ හැකි මෙම විෂය ක්‌ෂේත්‍රය අත්‍යන්තයෙන්ම සොබාදහම සමඟ අත්වැල් බැඳ ගත්තකි.

කලාව, මිනිසාගේ සහජ මනෝභාවයක ප්‍රතිචාර වශයෙන් සමාජ ගත වන අතර එය මානව ශ්‍රම ශක්‌තියේ මල්පල ගැන්වීමකි. (කාර්ල් බ්‍යqකර්) සාමුහිකත්වය මත මිනිස්‌ ශ්‍රමය ඵලදායී වීමත් රිද්මානුකූල වීමත් කලාවේ මූලයන් පිළිසිඳීමට හේතු වූ බව ප්‍රකට ය. රිද්මය ශ්‍රමයෙහි ඵලදායිත්වය සමඟ බිහිවන වැදගත් සාධකයකි. හේනේ, කුඹුරේ, කමතේ, මුහුදු වෙරළේ ධීවර සමූහයාගේ සාමුහිකත්වය, වෙහෙස, මහන්සිය, කාන්සිය මඟහැරුණේ මුවින් පිටව ගිය හඬත් රිද්මයානුකූලව සැලී ගිය මිනිස්‌ සිරුරේ අඟපසඟත් නිසා ය. ආවේණික සංස්‌කෘතියේ ලක්‌ෂණ සමඟ මේ හඬත් රිද්මයත් සංකලනය වීමේ ප්‍රතිඵලයෙන් මානව සමාජ ජීවිතයට නව වටිනාකම් රැසක්‌ එක්‌ කළේය. මෙසේ ශ්‍රමය උපයෝගී කර ගෙන පහළ වූ අංගයක්‌ වශයෙන් ජනශ්‍රැතිය ජන හද හඳුනා ගැනීමේ සියුම් මාර්ගයක්‌ මෙන්ම මානව අධ්‍යාත්මයේ පවිත්‍ර භාවයට හා ශක්‌තීන් හා ධෛර්යවන්තභාවය වඩවන්නට දායක වූ බව ප්‍රත්‍යක්‌ෂ වෙයි.

''
නූගත් ජනයා සතු ජනශ්‍රැතින් අතර පැරණි කථා, ප්‍රස්‌ථා පිරුළු හා ඔවුන්ගේ සංගීතය ඇතුළු ජනකවි ආදිය හමුවේ. මේවා ඔවුන්ගේ ජන සංස්‌කෘතියේ සෞන්දර්ය පක්‌ෂයෙහි ලා වැදගත් සාධකයෝ ය. ජන නාටක යෑයි අප හඳුන්වන්නේ, ඉහත දැක්‌වූ අංගයන්ගේ එකතුවත් ප්‍රස්‌තාරිත කලා මගින් කෙරෙන චාරිත්‍ර, නැටුම් ආදී දේත් ය. හැම ජනකතාවක්‌ තුළම චරිත, සිද්ධි හා සංදර්භය යන ලක්‌ෂණ තුන ගැබ්වී ඇත. මෙකී ලක්‌ෂණයන් ගෙන් යුත් ජනකතා ලෝකයේ සියලු තැනම පැතිරී යයි. එසේ පැතිර යද්දී ඒ ඒ ජන සමාජවල ජීවන රටාවට අනුව ඒවා වෙනස්‌ වෙයි. ජනකතා පොදු ජනතාවගේ සාහිත්‍යමය ප්‍රකාශන මාධ්‍යයක්‌ වශයෙන් පමණක්‌ම සැලකිය යුත්තේ නැත. ජනකතා මානව වංශ විස්‌තරයෙන් සංගෘහිත වූවකි. ඒවා ජන ජීවිතය පිළිබිඹු කරන සිතුවමක්‌ බඳු ය.'' (මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න, සංස්‌කෘතිය හා සමාජය, ගොඩගේ, 1971)

තත් විෂය පිළිබඳ මනෝවිද්‍යාත්මක අධ්‍යයනයන් ද වැදගත් මෙහෙවරක්‌ ඉටු කර ඇත. බඹරැන්දේ සිරි සීවලී හිමියන් පෙරදිග වැසියන් ගේ සිතුවිලි හා ක්‍රියාකාරකම් පිළිබඳ දැක්‌වූ අදහසක්‌ සංක්‌ෂිප්තව ගතහොත්, අපේ ආදිතමයින් පිළිබඳ සොයා යාමේ දී යම් වැදගත්කමක්‌ ඇතැයි සිතිය හැක. ''හිත ප්‍රධාන කොට සලකන පෙරදිග ජනයා නිතරම ස්‌වභාව ධර්මය අනුව පවතින්නට වෑයම් කළ අතර ප්‍රකෘතිය තුළ පුදුම බලයක්‌ ඇතැයි විශ්වාස කළෝය. එය වෙනස්‌ කිරීමට ලේසි නොවන්නාක්‌ මෙන්ම යම් න්‍යායකට අනුව පවතින බව ද සිතූහ. ප්‍රකෘතිය දේවත්වයෙහි ලා සැලකුවේ මේ නිසා ය. මේ දේව දෘෂ්ටියට පහර දුන් දාර්ශනිකයින් පවා යම් ක්‍රමයකින් මේ ප්‍රකෘති ශක්‌තිය පිළිගත්හ. බාහිර දියුණුවට වඩා අධ්‍යාත්මික දියුණුවට නැඹුරු වූ පෙරදිග මිනිසා මෙලොවට වඩා නොපෙනෙන පරලොව විශ්වාස බව සිතූහ. එමෙන්ම සෞන්දර්යජනක වස්‌තූන් අපතේ නොහැර එහි ආදීනව සොයා ගිය අතර එයින් කිසිවිටෙකත් ආත්ම ශුද්ධිය වළකිතැයි නොසිතූ හ.''

පුරාණෝක්‌ති හෙවත් පුරා කතාවන්හි වටිනාකම් විමසන විද්වත්හු ඊට අකාලික අගයක්‌ සළකුණු කරන අතර මනුෂ්‍ය ජීවන ප්‍රතිපදාවක ඇති විශ්වීය සමානතාවක්‌ පිළිබඳ සර්වකාලීන ආදර්ශයක්‌ ස්‌ථාපිත කිරීමක්‌ වශයෙන් ද අරුත් පහදනු ලැබ සිටී. '' 'පියරේ මැරැන්ඩා' ට අනුව පුරාණෝක්‌ති ඒ ඒ ස්‌ථාන වෙන වෙන ම ඥාන විෂයක හා භාවිත අධිකාරීන් නිර්මාණය කරමින් කාලය සමඟ ඒවා අතර සම්බන්ධය ද විසුරුවා හරිමින් ගම්‍ය කරනු ලබයි.'' (සාලිය කුලරත්න, පේරාදෙනිය වි.වි. සිංහල අංශයේ, අංශාධිපති)

තත් විෂය පිළිබඳ ගැඹුරින් විමසන මහාචාර්ය සාලිය කුලරත්න ජනශ්‍රැතියට කාලය ඉක්‌ම වූ වේගයක්‌ පවතින බවත් එය අන්තර් චක්‍රාවාට සම්බන්ධීකරණයක යෙදෙමින්, යාත්‍රා කරන අතර සංවර්ධනය වෙමින් පවතින රටවලට සංවර්ධනය උපාය මාර්ගයක්‌ වශයෙන් ද යොදා ගත හැකි බව පෙන්වා දෙයි. විල්හෙල්ම් වුන්ඩට්‌ (1921) උපුටා දක්‌වමින්, ඓතිහාසික සිද්ධි ඓතිහාසික ජීවිතය හා වෙනස්‌කම් අර්ථකථනය කළ හැක්‌කේ, මනස පිළිබඳ විශ්ව නීතිය අනුව බව සඳහන් කරයි. '' ජනශ්‍රැතිය යනුවෙන් අප අදහස්‌ කරන්නේ ඓතිහාසික පර්යේෂණයට ලක්‌ වූ වකවානුවට පෙර සිටම පොත පතින් නොව පරම්පරාවෙන් සහ මනුෂ්‍ය චර්යාවෙන්.

එනම් පුරාණෝක්‌ති, සුරංගනාකතා, කවිකතා, කෙළි සෙල්ලම්, සෙල්ලම්බඩු, කලා ශිල්ප, වෙදකම, ගොවිතැන, ආචාරවිධි සහ සමාජ සංවිධානයන් විශේෂයෙන් ම ගෝත්‍රික සමාජ සංස්‌ථාවන් මඟින් පැවත එන පරිපූර්ණ, අඛණ්‌ඩ සංස්‌කෘතිකාංග සම්භාරයයි.'' (ආනන්ද කුමාරස්‌වාමි) මානව චින්තනය සකස්‌වීමට 'ජනශ්‍රැතිය' කුඩා දරුවා තොටිල්ලේදී කරන වින්දනය කල් යත් යත් ඔහු වෙත එය සමර්පනය වන්නේ වඩා සිත් ගත් වහරකින්ය. ජනශ්‍රැති විද්‍යාඥයන් මේ සමස්‌තය වර්ගීකරණයට ලක්‌ කර සිදු කර ඇති අධ්‍යයන මතු පරපුරට ඉතා ප්‍රයෝජන වත්ව ඇත. (විශ්වාසයන් හා භාවිතයන් පිළිබඳව, සිරිත් හා බැඳුනු පුවත් සම්බන්ධව, කතා හා කාව්‍ය, ගීත ආදී වශයෙන් 'බර්නි' නම් ජනශ්‍රැති විද්‍යාඥයා පෙන්වා දෙයි.) තවදුරටත් විමසීමේ දී ජනකතා, ජනකවි, ජන ගී, උපහැරණ, රූඩි, (රූඩි, උපහැරණයෙන් වෙනස්‌ වන්නේ නිපාත පද නොයෙදෙන නිසාය. මෙය ඉඟි වැකි වශයෙන් යෙදෙයි.) ජනප්‍රවාද වශයෙන් උපාංග කරණය කළ හැකි ය.

''
ජනකතා නැත්නම් ගම කතා ජන කවි නැත්නම් සීපද පුරාණෝක්‌ති පිරුළු තේරවිලි කියමන් ආශීර්වාද, ශාප, මිත්‍යා විශ්වාස, උපමා කතා, කමත් බස වැනි විශේෂ භාෂා විහිළු කට වචනයෙන් පැවතෙන ජනශ්‍රැතිය. ආශීර්වාදයක්‌ වශයෙන් අප භාවිත කරන 'ආයුබෝ', 'ආයුබෝවන්' යන වචන ය ලියුමක, තොරණක 'ආයුබෝවන්' යනුවෙනුත් යාගයේදී 'ආයුබෝ' යනුවෙනුත් සඳහන් වීමෙන් කථීක හා ලිත වශයෙන් ජනශ්‍රැතිය භාවිත වන අන්දම පැහැදිලිය'' (සිංහල ජනශ්‍රැතිය හැදෑරීම, අමරදාස වීරසිංහ)

වැඩි දුරටත් ගැඹුරින් මෙම විෂය විවරණය කරන අමරදාස විරසිංහ ශූරීන් ජනශ්‍රැතිය හා ජන ජීවනය මූලික වශයෙන් කොටස්‌ අටකට බෙදා දක්‌වයි.

1.
ජනශ්‍රැතිය හා ජන ජීවන අධ්‍යයනය 2. ගද්‍ය වෘත්තාන්තය (ප්‍රබන්ධ) 3. විරිත් වැකිය 4. ලුහුඬු ජනශ්‍රැති 5. ක්‍රීඩා 6. විශ්වාස විධි ක්‍රම 7. ව්‍යවහාරය පිළිබඳ ජනශ්‍රැති 8. ජන ජීවනය භෞතිsක සංස්‌කෘතිය.

මේ අනුව ජනශ්‍රැතිය යන විෂය ඉතා පුළුල්ව විමසිය හැකි විෂයක්‌ වන බව පැහැදිලිවන අතර ජනකවිය ඇසුරින් සංවර්ධනය හා බැඳි ජන දිවිය පිළිබඳ විමසා බැලීමක්‌ මෙම ලිපිය තුළින් අපේක්‌ෂා කරන අතර පූර්ව සමාජය සිය නිෂ්පාදනය උදෙසා මේ භාවිතාව කොතෙක්‌ ප්‍රයෝජනවත් වූයේ ද යන්නත් සංවර්ධන උපාය මාර්ගයක්‌ වශයෙන් ජනශ්‍රැතිය කෙතෙක්‌ දුරට ප්‍රයෝජනවත් වූයේද යන්නත් විශද කිරීම තවත් එක්‌ වෑයමක්‌ වශයෙන් සඳහන් කළ යුතු ය.

දිගු ඉතිහාසයක්‌ සහිත මානව සමාජ තුළින් ප්‍රකට වූ ජනශ්‍රැතිය පුද්ගල හෝ ස්‌ථාන නිශ්චිත කාලය වටහා ගැනීම උගහට ය. එහෙත් භූගෝලීය හා පාරිසරික සාධක මෙන්ම මානව අධ්‍යාත්මික පසු තලයන් මතින් ලද අත්දැකීම් (පාරම්පරික ඥානය) මෙම විෂය බිහි වී ක්‍රමික වර්ධනයක්‌ අත්පත් කර ගැනීමට ඉවහල් විය. ඇලෙක්‌සැන්ඩර් ක්‍රේප් නමැති විද්වතාට අනුව මානව චින්තනය සැකසීම පමණක්‌ නොව ජනශ්‍රැතීන් මිනිසාගේ මනෝ විද්‍යාත්මක හැඟීම් ප්‍රකට කරන බව ද පෙන්වා දෙනු ලබයි. (THE SCIENCE OF FOLKLORE) පළ කරමින් පෙන්වා දුන්නේ, ජනශ්‍රැතීන් මානව අතීතය පිළිබඳ නිරවද්‍ය තොරතුරු සපයන බවයි. මෙය සම්පූර්ණ සත්‍යයක්‌ නොවූවත් එහි වටිනාකම පුරා, මානව හා සමාජ විද්‍යාවන් සමඟ එක්‌ කර ගත් විට ප්‍රබලතාවක්‌ ඉස්‌මතු කරන බව පෙන්වා දිය හැකි ය.

දිගු ඉතිහාසයකට උරුමකම් කියන මේ ඥාන සම්භාරය ආරක්‌ෂා වීමට බලපාන ලද කරුණු විමසන විද්වත්හු එය කොටස්‌ කිහිපයකට වෙන්කර හඳුන්වා දෙති. එනම් පුරාණෝක්‌ති, ආඛ්‍යාන, ජනකතා, කවි කතා, ප්‍රස්‌තා පිරුළු තේරවිලි ආදීන් ශ්‍රැති වහර ලෙසත්, ශාන්ති කර්ම, අභිචාර විධි, සිරිත් විරිත්, පූජෝත්සව, ජන නාටක ආදීන් ජන ඇදහිලි සහ විශ්වාස යටතේත්, ශ්‍රැති වහරට අයත් නොවන කලා ශිල්ප, ඇඳුම් විලාසිතා, කෑම බීම, ගෘහ නිර්මාණ ශිල්ප ආදිය විවිධ සංස්‌කෘතික උපාංග යටතේත් පරපුරකින් පරපුරකට මේ ඥාන සම්භාරයෝ (පාරම්පරික ඥානය) උරුම කර දෙන්නට සමත්විය. මානව සමූහ සමාජානුයෝජනය (සමාජය තුළට පිවිසි නව සාමාජිකත්වය ඒ සමාජයට අනුගත වීමයි) වීම පමණක්‌ නොව සමාජ අභිවෘද්ධියට මෙය හේතුකාරක විය. සාමූහිකත්වයට මෙන්ම සංවර්ධනයක්‌ කරා ගමන් ගැනීමේ දී මෙම තත්ත්වය අත්‍යාවශ්‍ය සාධකයකි.

සමාජානුයෝජන ක්‍රියාවලිය පිළිබඳ අරුත් සපයන ප්‍රාමාණික උගතුන් ඒවා මූලික නිතීන් න්‍යායන් වශයෙන් විවිධ පැති මානයන් ඔස්‌සේ කරුණු විග්‍රහ කර ඇත. ඊ. මෙරිල් ෆ්‍රැන්සිස්‌ නමැති සමාජ විද්‍යාඥයාට අනුව, පුද්ගලයා ජන සමූහයේ මූලික නීති ඉගෙනීම, සමාජ සමූහයේ පිළිගත් සම්මතයන්ට හැම විටකදී ම අනුගත වීම, තමා අයත් සංස්‌කෘතියට අත්‍යවශ්‍ය වූ ශිල්පීය ක්‍රම පිළිබඳ ඉගෙනීම, පුද්ගලයා තමාට හිමි කාර්යය කොටස නිවැරදිව හඳුනාගැනීම සමාජානුයෝජන ක්‍රියාවලියෙහි විද්‍යාමාන මූලික නීති වශයෙන් පෙන්වා දෙමින් කවර සමාජයක වුව ද යම් සාමාජිකයෙකු තුළින් මේ සමාජානුයෝජනය අර්ථවත් ලෙස ඉටු නොවුණ හොත් ඔහු සමාජයට අහිතකර පුද්ගලයෙකු බවට පත්වන බව පෙන්වා දෙයි. එම තත්ත්වය සමාජ විසංවාදයට ද හේතු කාරකයක්‌ වෙයි. එබැවින් ජන සමාජයක්‌ සන්ධාන ගත වීමට අවශ්‍ය ඥානය පරපුරකින් පරපුරකට ලැබෙන්නේ ජනශ්‍රැති මාර්ගයෙන් බව මනාව පැහැදිලි ය.

''
සමාජානුයෝජනය යනු පවත්නා අත්දැකීම් ප්‍රවාහයකි. ඒ නිසා මිනිහා තම පරිසරයට අනුව හැඩ ගැසෙන්නට උගනියි. සමාජ පර්යාය පවත්නේ සමාජානුයෝජනයට ඉඩ සලසමිනි. මිනිස්‌ සතා මනුෂ්‍යයකු වන්නේ සමාජානුයෝජනයෙනි. ජීව විද්‍යාත්මක මිනිසා සමාජානුයෝජනය නිසා සමාජ මිනිසෙකු වෙයි. ''

(
සමාජවිද්‍යාව හා මානව විද්‍යාව, මහාචාර්ය නන්දසේන රත්නපාල, පි. 47)

ලාංකීය ශිෂ්ටාචාරය තුළ විශිෂ්ටත්වයක්‌ දක්‌වන ශෛලමය මූර්ති හා කැටයම් කලාවන් ප්‍රතිමා වාපී ශිෂ්ටාචාරය ආකස්‌මිකව පහළ වූ සම්පත් නොවන අතර ඉහත පෙන්වා දුන් ආකාරයට පාරම්පරිකව ආ ඥානය කලින් කල එකතු වූ නව දැනුම ඔස්‌සේ ප්‍රවර්ධනය වී ජන සමාජයට පහළ කර ගත් ජීවමාන සාධකයෝ යි. මෙලෙස පාරම්පරික ඥානය ජනශ්‍රැතිය ඔස්‌සේ පරපුරකින් පරපුරකට දායාද කළ බවට සාක්‌ෂි ඒ ඒ ශිල්ප ඥානයන්ට විශේෂඥ දැනුමැති පරම්පරා ගතව ආ පිරිස්‌ හි අවසන් පුරුක්‌ තවමත් අප සමාජයේ ජීවත්වන අතර බව විවිධ කලා ශිල්ප පිළිබඳ විමසීමේ දී ඒ බව මනාව ප්‍රත්‍යක්‌ෂ වෙයි.

කවර රටක්‌ වුවද ගමන් කරන්නට වෑයම් කරන්නේ, කුමන දර්ශනයක්‌ ඔස්‌සේ හෝ සංවර්ධනය කරා ය. ඒ අතර පාරම්පරික ඥානය ඊට බාධාවක්‌ ලෙස නිර්වචනය කෙරෙන්නේ, එය එහෙම පිටින්ම භාවිතාවේ යෙදීමට හෝ වෙනස්‌වීමට ඇති නොකැමැත්ත නිසාය. එසේ නම් මේ වෙනස සමග සංවර්ධන ඉලක්‌ක සපුරා ගැනීම උදෙසා සාම්ප්‍රදායික ඥානයක්‌ සහිත ජන සමාජවලට ඒ සඳහා නව ඥාන සම්භාරයන් මෙන්ම නව ආකල්ප හා විශ්වාස ලැබිය යුතු බව ප්‍රත්‍යක්‌ෂ කරුණ කි. ඒ සඳහා ජාත්‍යන්තර සහයෝගිතාවයන්, විශේෂඥ දැනුම් සම්භාරයන්, ප්‍රාග්ධනය, සැලසුම් හා නව ශිල්පීය ඥානය ආදී දෑ මුද්‍රිත හා විද්යුත් මාධ්‍යවලින් සිදුවිය යුතු මෙහෙවර එහිදී ඉතා වැදගත් වෙයි. භාරතය, සමඟ සබැඳි රාම, රාවණා පුවතට ජනශ්‍රැතියේ දායකත්වය කෙතරම් ද යන්න ප්‍රවාදවලින්ම පැහැදිලිය.

''
දකුණු ඉන්දියාවේ 'ෂානන්' නමැති වර්ගයා රාවණයාගේ ජයග්‍රහණයත් රාමාගේ පරාජයත් නිමිති කොට දැනුදු උත්සව පවත්වති. රාමා පිදීම අභාවයට යාම නිසා ඇද වැටුණු දේවාලයක සුන්බුන් ඉවත් කරනු මම වරක්‌ බලා සිටියෙමි. රාම රූපයට යට තිබී කවඩි ද, කළ ද සම්බ විය. කවඩිත් කළ ආදී බඳුනුත්, ද්‍රවිඩයන් යකුන් පිදීම සඳහා ගන්නා උපකරණ වෙයි, මේ රාම දේවාලය තනන අවස්‌ථාවෙහි අර මිනිසුන් තමන් අදහන (රාවණයා ආදී) රකුසන් පිළිබඳ සලකුණු ද තැන්පත් කරන්නට සිතුවා විය හැකි ය.'' මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් විසින් ආචාර්ය විලබර් තියඩෝර් ඇල්මර් දේවගැතිතුමන් විසින් රචිත, මදුරාසි මණ්‌ඩලය පාලනය පිළිබඳ අත් පොතෙහි පළමුවැනි පරිච්ඡේදයෙහි 71 වන පිටුවෙන් උපුටා ගෙන, පාඨක අවධානයට යොමු කරන්නේ, ඉතිහාසය ගොඩ නැගෙන එක්‌ මඟක්‌ පිළිබඳව අප සිත් යොමු කර වීමට ය. ජනශ්‍රැතිය නමැති විෂය ධාරාව පිළිබඳව ද ගැඹුරින් අධ්‍යයන කළ වික්‍රමසිංහ මහතා, රාම-රාවණ කථාව නොයෙක්‌ වෙසින් ආදී කාලීන ජාතීන් අතර පැතිර ගිය දේව කතාවක්‌ වශයෙනුත්, ඒ දේව කතාව වර්තමාන ස්‌වරූපයෙන් ප්‍රකට කරන ලද්දේ, කවීන් විසින් යනුවෙනුත් සඳහන් කර සිටී.''

මෙම පුවත ඓතිහාසිකත්වය මෙන්ම ආගමික පක්‌ෂයෙන් ද සමාජයට කරන බලපෑම අනුව තවදුරටත් විමසීමේ දී, ලාංකීය සමාජයට ඉතිහාස කරුණක්‌ වශයෙනුත් දක්‌ෂිණ භාරතීය ජනයාට ආගමික වශයෙනුත් විසල් බලපෑමක්‌ කරන පුවතක්‌ වශයෙනුත් පෙනෙයි.

එමෙන්ම, දේවත්වයෙන් පුද ලබන, සීතා කුමරිය පිළිබඳව ද ශ්‍රැතිය මුල් කර ගෙන සමාජ ගත කරුණු අපූර්වත්වයෙන් තහවුරු වී ඇත. ''ජනක රජු නඟුලෙන් බිම හාරණ විට සීතා උපන්නා ය. යන රාමායණ සඳහන, ('සීතා' යන වචනය අරුත් ගැන්වෙන්නේ 'නඟුලෙන් හෑරුණු රේඛාව' යනුවෙනි.) මෙම අදහස ජෛන කවියෙකු සනාථ කර ඇත්තේ, ''වරක්‌ රාවණයා වෘත රක්‌ෂා කරන මණිමතී නමැති ස්‌ත්‍රිය වසඟ කර ගැනීමට තැත් කළේ ය. මහත් සේ කිපුණු ඈ, රාවණයාට දුව වී ඉපිද ඔහු මැරීමට පතා ගෙන කාලක්‍රියා කොට මන්දෝදරියගේ කුස තුළට පිවිසියා ය. යථා කාලයෙහි මන්දෝදරී දුවක වැදුවා ය. උපන් අවස්‌ථාවෙහි නොයෙක්‌ අශුභ නිමිති පහළ වූයෙන් ඒ දැරිය හැරදැමිය යුතුයයි මන්දෝදරියට අවවාද කරනු ලැබී ය. මන්දෝදරිය තම දුව පෙට්‌ටියක දමා මාරිචාට දුන්නාය. මාරිචා මිථීලා නගරයෙහි උයන අසල සොහොන් බිමෙහි ඒ පෙට්‌ටිය වළ දැම්මාය. යාග කිරීමට සුදුසු බිමක්‌ සොයමින් ගිය, ජනක රජුට මේ පෙට්‌ටිය සම්භ වී ය. පෙට්‌ටිය තුළ පණපිටින් උන් ඒ දැරියට 'සීතා' යන නම තබන ලදී.'' (බුදුසමය හා සමාජ දර්ශනය, මාර්ටින් වික්‍රමසිංහ) 'ශීතා' සශ්‍ය සංග්‍රහක දෙවඟන වශයෙනුත් 'රාමා' දක්‌ෂිණ භාරතීය ජනයා ගේ දේවමණ්‌ඩලයෙහි ප්‍රබල දෙවියෙකු වශයෙනුත් පූජ්‍යත්වයට පත්ව ඇත. මේ ආදී වශයෙන් ලක්‌ ඉතිහාසය සමඟ ජනශ්‍රැති ඇසුරින් සබැදි පුවත් අපමණව පවතී.

''
ගසල් '', ''කතකලි'', ''කිලිපාට්‌ටු'' වැනි භාරතීය කලා සම්ප්‍රදායන් විමසන විචාරකයින් ඒවායෙහි මූලයන් ද, 'ජනශ්‍රැතිය' හා සබැඳි බව පවසනු ලබති.

අපේ රඟ මඩල ඒකාලෝක කළ බොහෝ නාට්‍යවලට ඓතිහාසික මූලාශ්‍ර උපයෝගී වී ඇති බව අපි දනිමු. ඒවායෙහි මූලයන් ද ජනශ්‍රැති ආභාෂය ලද බව ප්‍රකට කරුණකි. 'මනමේ, සිංහබාහු, එලොව ගිහින් මෙලොව ආවා, රත්තරන්, පබාවතී, ලෝමහංස, බවකඩතුරා, වෙස්‌සන්තර' පුවත් විමසීමෙන් අපේ සිත් ඇදී යන්නේත් චිත්තරූප මැවෙන්නේත් පුරාණෝක්‌ති හා සබැඳිවමය.

මේ අනුව මාතෘකා ගත කරුණ විශද කිරීමට ජනශ්‍රැතිය කවර ආකාරයකින් දායක වන්නේද යන්න පිළිබඳ යම් අදහසක්‌ ඇති කර ගැනීමට හැකි වෙනු ඇතැයි සිතමි.

ජනකවිය හා සමාජය

හඬක්‌ නැති මිනිසුන්ගේ හඬක්‌ (folkfore is the voice of the voiceless) වශයෙන් ද අරුත් ගන්වන ජනශ්‍රැතියෙහි, වටිනා අංගයක්‌ වූ ජනකවිය මුඛ පරම්පරාගතව පැමිණි එක්‌ සුන්දර මාධ්‍යයක්‌ වශයෙන් අප වර්තමානයේ ද සතුටින් අත් විඳිමු. තම සිතැඟි කවිය නමැති මාධ්‍ය තුළින්, අපුර්වත්වයකින් ඉදිරිපත් කළ අතර ඊට පාළුව, පාඩුව, දුක, වේදනාව, බිය, පමණක්‌ නොව සතුට ආදී හැඟීම් හදවතින් හදවතට සන්නිවේදනය වන්නට ඉඩ හැරියේ, වරෙක මඳ සිසිල් සුළඟක්‌, පොද වැස්‌සක්‌, ප්‍රචණ්‌ඩ කුණාටුවක්‌, මුරුගසන් වර්ෂාවක්‌, මෙන්ම පරමාදර්ශයන් එක්‌කාසු කළ ජීවන දහමක්‌ මෙන්ම මනුෂ්‍යයාට ශක්‌තිය, ධෛර්යය, ශාන්තිය මෙන්ම උපේක්‌ෂාව ද ගෙනහැර දක්‌වමිනි.

ප්‍රධාන ජීවනෝපාය වශයෙන් ගොඩ හෝ මඩ ගොවිතැනින් දිවි සරි කර ගත් පූර්ව සමාජයේ සාමූහිකත්වය මෙන්ම අෙන්‍යාaන්‍ය බැඳීම සමඟ විදහා දක්‌වන සංස්‌කෘතිය පිළිබඳ ජන කවි අධ්‍යයනය කිරීමෙන් මනාව පැහැදිලි වෙයි.