Monday, December 21, 2015

ලක්‌දිව විසූ නිට්‌ටෑවන් හෝ නිත්තෑවන් මානව වංශයක්‌ ද?

(මහා සමාජය තුළ ශේෂ වී යමින් පවතින
ශ්‍රී ලංකාවේ ප්‍රාථමික ජනයා පිළිබඳ විමසුමක්‌)

සුනිල් කුමාරසිංහ අතුකෝරල

(athukorala128@gmail.com)
මානව විද්‍යාව නම් මිනිසා පිළිබඳ විද්‍යාව යි. මිනිසා පිළිබඳ ව කෙරෙන මේ අධ්‍යයනයෙහි මානව විද්‍යාඥයා "මිනිසා යනු කවරෙක්‌ ද" "කෙබඳු මිනිසුන් ලෝකයේ සිටිනවා ද" වැනි ප්‍රශ්න පිළිබඳව නිරතුරුවම වෙහෙසෙයි. මෙහිදී මිනිසා හා සත්ත්ව ගනයා අතර පවතින සමානකම් මෙන්ම අසමානකම් ද, එක්‌ මිනිස්‌ කොට්‌ඨාසයක්‌ තවත් මිනිස්‌ කොට්‌ඨාසයකින් වෙනස්‌ වන්නේ, සමාන වන්නේ, කොයි විධියට ද යනුවෙන් මානව විද්‍යාඥයා විමසයි.

මානව වංශ විද්‍යාඥයන් මිනිසා හොමිනිඩේ (HOMINIDAE) නමැති කුලයට, ක්‌ෂීරපායි නමැති සත්ත්ව කොටසට සහ ප්‍රයිමේටා (PRIMATA) නමැති පන්තියට අයත් වන බව විද්‍යාත්මකව තහවුරු කරමින් නූතන මානවයා හෝමෝ සේපියන් (HOMO SAPIENS) නමැති විශේෂ නාමයෙන් හඳුන්වනු ලබති. සේපියන් මානවයා සමඟ ළඟින්ම ජීවත්වී මිහිමතින් සදාකාලිකවම තුරන්ව ගිය ඥාති සමූහයක්‌ ද, හෝමෝ ඉරෙක්‌ටස්‌, හෝමෝ ෆ්ලොරොසෙනිස්‌, හෝමෝ ඇන්ටිසෙසර්, හෝමෝ හයිඩ්ල්බර්ග්, හෝමෝ නියෑන්ඩතාල්, හෝමෝ රොඩෙල්සියන් සහ හෝමෝ සෙප්‍රානියස්‌ යනුවෙන් ඔවුන් සිය අධ්‍යයනයන් තුළින් ලොවට ප්‍රකට කර ඇත.

'මිනිසාගේ පූර්වජයින් රුක්‌ මත ජීවිතයක්‌ ගත කළහයි සිතමු, නැතිනම්, ප්‍රොකොන්සුල් (PROCO NSUL AFRICANUS) මෙන් අඩ වශයෙන් රුක්‌ මත ද, අඩ වශයෙන් එළිමහන් බිමෙහි ද ජීවත් වී නම්, එක්‌ විධියකින් හෝ තවත් විධියකින් ඔස්‌ට්‍රොලොපිතකස්‌ හා හොමිනිඩේ (HOMINIDAE) වරුන් ගේ ශරීර ව්‍යqහයේ ගස්‌ නැඟීම සඳහාත් අතු අල්ලා ගැනීම සඳහාත් යම් කිසි මෙවලම්වල සේයාවන් තිබිය යුතුය. (campbell. 1967) ( මිනිසාගේ සම්භවය - එම්. නෙස්‌තුර්හ් පි.90)

'ප්‍රාථමික සමූහ යනුවෙන් මා අදහස්‌ කරන්නේ, කුළුපග මූණට මූණලා ඇසුරු කරන සහයෝගිතාවක්‌ ඇති සමූහයයි, අර්ථ කීපයකින්ම ඒවා ප්‍රාථමික වන නමුත් ප්‍රධාන වශයෙන් පුද්ගලයාගේ සමාජ ස්‌වභාවය සකස්‌ කිරීමෙහි ලා මුල් තැනක්‌ ගන්නා බැවින් ඒවා ප්‍රාථමික සමූහ වෙයි.' (චාල්ස්‌ හෝමස්‌ කුලී)

ශ්‍රී ලංකාව ජනාවාසකරණය හා එහි ඉතිහාසය පිළිබඳ විමසීමේ දී යාබද භාරත දේශය සමඟ පැවති අද්විතීය සම්බන්ධතාවය මානව, සමාජ හා පුරා විද්‍යාඥයින් ගේ අත්‍යන්ත විමර්ශනයන්ට ලක්‌ව ඇති මාතෘකාවකි. ප්‍රාග් බෞද්ධ ලක්‌දිව ඉතිහාසය විමසුමට ලක්‌ කළ මහාචාර්ය වල්පොල රාහුල හිමියන් සඳහන් කරන්නේ, "ලංකාවේ පදිංචි මුල් ආර්යයන් ඉන්දියාවේ තම නෑදෑ පිරිසගෙන් මුළුමනින්ම වෙන්වී විසුවේ නැත. ලංකාව කොපමණ කිට්‌ටු ලෙස කොපමණ කුළුපග ලෙස ඉන්දියාව හා සම්බන්ධ වී පැවැත්වී ද යත් දේශපාලනය අතින් හෝ වේවා, සමාජය අතින් හෝ වේවා, ආර්ථික අතින් හෝ වේවා, ආගම ධර්මය අතින් හෝ වේවා මහා දේශයෙහි හටගත් හැම විපර්යාසයක්‌ ම ලංකාවේ ජනයා ගේ ජීවිතය කෙරෙහි ද තරමක බලයක්‌ පෑවේ ය. තලෙයි මන්නාරම හා ධනුස්‌කොඩිය අතර පිහිටි පටු මූදු අත්ත දෙරට අතර නොකඩවා සබඳකම් පවත්වාගෙන යැමට බාධාවක්‌ නොවී ය."යනුවෙනි.

මානව විද්‍යාව, මනුෂ්‍ය සංහතියේ විවිධත්වය හා යථා ස්‌වභාවය පිළිබිඹුවන කැඩපතකි යන ක්‌ලයිඩ් ක්‌ලක්‌හෝන් ගේ නිර්වචනයට අනුව ද, ප්‍රාථමික මිනිසාගේ සිට නූතන සංකීර්ණ නාගරික මිනිසා දක්‌වා මානව විද්‍යාඥයාගේ අධ්‍යයනයට හසුවනු ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සමාජ පිළිබඳ යටත් විජිත පාලන සමයේ, 'එමර්සන් ටෙනන්ට්‌', 'µර්ගියුෂන්', 'හ්‍යq නෙවිල්', 'ජෝන් ඩොයිලි', 'විල්හෙල්ම් ගයිගර්', ආදීන් පමණක්‌ නොව 'එම්.ඩී. රාඝවන්' , 'ජෝන් ස්‌පිටල්,' 'සයිමන් කාසිචිට්‌ටි', 'ආචාර්ය නන්දදේව විෙ-සේකර', ආදි විද්වතුන් ගේ මෙහෙවර ලක්‌දිව ඉපැරණි අතීතය නූතන මෙන්ම අනාගතය ලෝකයට දායාද කිරීමකි. මෙහි දී යුරෝපීයයන් ප්‍රාථමික සමාජ අධ්‍යයනය කළ අවශ්‍යතා පිළිබඳව විවිධ කරුණු ඔවුන්ට ඒ සඳහා බලපෑ බව ද සඳහන් කළ යුතු කරුණකි. (ඒ පිළිබඳව වෙනම විමසිය යුතු වෙයි) ලක්‌දිව නූතන මානව විද්‍යා විෂය ක්‌ෂේත්‍රය පෝෂණය කිරීමට දායක වූ විද්වතුන් අතර මහාචාර්ය නන්දසේන රත්නපාල, එච්.ඩබ්. තම්බයියා, නූර් යාල්මන්, එඩ්මන්ඩ් ලීචි, රැල්ෆ් පීරිස්‌, ගණනාත් ඔබේසේකර, සේනක බණ්‌ඩාරනායක රිචඩ් ගොම්රිච් වැනි ප්‍රාමාණික උගතුන් ගේ මෙහෙවර ද සුළු පටු නොවන බව මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු ය.

පූර්ව යුගයේ නොදියුණු සමාජ සංස්‌ථාවල පැවති ලක්‌ෂණ සමඟ ඉදිරියට පැමිණි ජන සමූහ පිළිබඳව දකුණු අප්‍රිකාව, ඔස්‌ටේ්‍රලියාව, ඉන්දියාව, උතුරු ඇමරිකාව, ආදී විවිධ රටවලින් මෙන්ම ලංකාවෙහිදී ද වාර්තා වන අතර මුල් කාලීන ලක්‌ෂණ ඒ අයුරින්ම ඉදිරියට පැමිණි සමූහයන් පිළිබඳව කාන්තාර සහ ධ්‍රැවාසන්න කලාපයන්හි මෙන්ම අන් අයට ළඟාවීමට ඉතා අපහසු භූමි කලාපවල වෙසෙන ප්‍රාථමික ජනයා සම්බන්ධව පමණක්‌ හැර ඉතිරි සමාජ සමූහ වර්තමානය වන විට විශාල වෙනසකට බඳුන් වී ඇති බව ඒ ඒ සමාජ අධ්‍යයනය කළ විද්වතුන් ගේ වාර්තා අනුව මනාව පැහැදිලි වෙයි.

'මානව විද්‍යාඥයන් අදහස්‌ කරන්නේ, මානව සමාජ විකාශනය විමසීමෙන් මිනිසා පසුකළ මුල් යුගයන්හි සමාජ සංස්‌කෘතික ලක්‌ෂණ පිළිබඳ අවබෝධය ලබා ගතහැකි බවය. අහුලන් කමින්, දඩයමෙන්, එෙ`ඩ්ර ජීවිතය සහ ප්‍රාථමික ගොවි යුගවල පැවති ජීවන ලක්‌ෂණ සිය අධ්‍යයනයන් තුළින් ප්‍රකට කරමින්, ප්‍රාථමික සමාජයන්හි ලක්‌ෂණ වශයෙන්, අඩු ජන සංයුතිය, මුහුණට මුහුණලා සබඳතා පැවැත්වීම, හැඟීම්බර සබඳතා පැවැත්වීම, ප්‍රාග් ලිත යුගයට අයත් වීම, අභිචාරවිධි ක්‍රියාත්මකව පැවතීම. සිරිත මඟින් සමූහය පාලනය වීම අන්යවයන්ගෙන් හෝ වංශ, වරිගවලින් යුතු, ආදි ස්‌ත්‍රියක්‌ හෝ ආදි පුරුෂයකු පිළිබඳ අදහස මෙන්ම සිය සමූහය එකම ලේ බැම්මකින් බැඳි පිරිසක්‌ වශයෙන් පෙන්වා දෙයි.' (ශ්‍රී ලංකාවේ ප්‍රාථමික ජනතාව, සේපාල සමරසේකර)

ලක්‌දිව ප්‍රාථමික ජනයා පිළිබඳව විමසීමේ දී වැදි ජනයා (ශ්‍රී ලංකාවේ වැදි ජනයා සහ අහිගුණ්‌ඨ§ක ජනයා පිළිබඳව මීට ඉහත දී සාකච්ඡා කර ඇත), කින්නර හා රොඩී ජනයා මෙන්ම පුරාණ ලක්‌දිව වනගතව දිවි ගෙවූ නිට්‌ටෑවුන් වශයෙන් හැඳින්වූ ජන කොටසක්‌ පිළිබඳව ද විද්වතුන්ගේ අවධානය යොමු වී පැවති බව ඉතිහාස සටහන් අනුව හෙළි වෙයි. මෙම ලිපියෙන් සාකච්ඡා කරන්නේ, නිත්තෑවන් ගේ මානව ලක්‌ෂණ, ජීවන තතු හා ඔවුන් ගේ වඳවී යැම සම්බන්ධවය.

මානව විද්‍යා විෂය ක්‌ෂේත්‍රය පිළිබඳව අධ්‍යයනය කළ විද්වත්හු, විවිධ සමූහ සමඟ ජීවත්වෙමින් ඔවුන් පිළිබඳ ගැඹුරින් විමසමින්, ජනශ්‍රැති අධ්‍යයනය කරමින්, පාරිසරික සාධක, සංස්‌කෘතිය, පරිහරණය කළ මෙවලම් මෙන්ම භූගෝලීය සාධක ආදී විවිධ පැතිකඩ ඔස්‌සේ ලොව විවිධ මානව වර්ග පිළිබඳ අපූර්ව තොරතුරු හෙළි පෙහෙළි කර ඇත.

"ඇමරිකානු ජාතික මානව විද්‍යාඥයෙකු වූ මාග්‍රට්‌ මීඩ් (1901 - 1978) මානව විද්‍යාව, මිනිසාගේ ශරීර විකාශනයත්, ජීවී ස්‌වභාවයත්, අධ්‍යයනයකට භාජනය කරන බැවින් ජීව විද්‍යාවටත් මිනිසා සමාජ කණ්‌ඩායම්වල සාමාජිකයෙකු හැටියට කරන චරියාවන් අධ්‍යයන කරන බැවින් සමාජීය විද්‍යාවකටත් මෙන්ම එය සංස්‌කෘතික වර්ධනයේ අනුක්‍රමය හැදීමට ඉවහල් වන බැවින් ඓතිහාසික ශික්‌ෂණයටත් එය කලාව ජනශ්‍රැතිය, ප්‍රවාද, සම්ප්‍රදාය ආදිය අධ්‍යයනය කරන බැවින් එය මානව ශාස්‌ත්‍රයකටත් අයත්වන බව සිය විශ්ලේෂණයන් තුළින් ප්‍රකට කළහ." (අමරදාස වීරසිංහ)

'ශ්‍රී ලංකාවේ පැරණි මානව විද්‍යා සම්ප්‍රදාය භෞතික වශයෙන් හඳුන්වා ගැනීමේ දී පුරාවිද්‍යාත්මක මානව විද්‍යාවෙන් ඊට වටිනා සහායක්‌ ලබා දී ඇත. දැනට වසර මිලියන කිහිපයකට පෙර මානවයා බිහිවීම ඇතුළු ඔවුන්ගේ සිදු වූ පරිණාමය පිළිබඳවත්, සමාජ, ආර්ථික හා සංස්‌කෘතික පරිසරයේ කාලය සහ අවකාශය පිළිබඳ හිඩැස සම්පූර්ණ කිරීමට පුරාවිද්‍යා කැණීම් සහ ගවේශන මඟින් වටිනා මෙහෙයක්‌ ඉටු වී ඇත. ඉක්‌බිතිව පසුකාලීන මානව සමාජයේ ඇති වූ ජයග්‍රහණ හා පරාජයන් බොහොමයක්‌ පිළිබඳ තොරතුරු පුරාවිද්‍යා මානව විද්‍යාවෙන් අනාවරණය කරගෙන ඇත.' (මානව විද්‍යාව හැඳින්වීම, 'පෙරවදන')

'වසර 350 කට පමණ පෙර අතීතයේ ශ්‍රී ලංකාවේ වනාන්තරවල මානව විශේෂයක්‌ (HOMINIDAE) ජීවත්ව ඇත. ඔවුන්ගේ පිරිමි සතුන් අඩි 03 ක්‌ 04 ක්‌ පමණ උස්‌ වූ අතර ගැහැනුq සතුන් ඊට වඩා මිටිය. ඔවුන්ගේ ශරීර සෘජු වූ අතර, සමෙහි රෝම බහුලය. ඔවුන් චිම්පංසියන් සහ ගොරිල්ලන් වැනි වානරයන් නොවේ. නමුත් මානවයන්ය. මෙම විශේෂ සත්ත්ව කොට්‌ඨාසය නූතන මානවයාගේ ඉතා ළඟ ඥාති පරපුරක්‌ විය හැක. ඔවුන් නිත්තෑවන් ය.' (මානව විද්‍යාවේ හැඳින්වීම, පි. 228)

අඩක්‌ මානව ලක්‌ෂණත් අඩක්‌ සත්ත්ව ලක්‌ෂණත් පිළිබිඹු කරන 'නිත්තෑවුන් ' යනුවෙන් හඳුන්වන ප්‍රභේදයක්‌ පිළිබඳව අනුමාන වශයෙන් විවිධ වූ අදහස්‌ ප්‍රකට වීම හ්‍යq නෙවිල් (1887) සිදු කළ අධ්‍යයන මෙන් ම, මානව, සමාජ හා පුරාවිද්‍යාඥයන්aගේ වාර්තා සහ ජනප්‍රවාදගත තොරතුරු මාතෘකා ගත කරුණු පිළිබඳව අපගේ නිම් වළලු පුළුල් කිරීමට ඉමහත් දායකත්වයක්‌ සපයනු ඇත.

භාරත දේශයේ දකුණු දිග වනාන්තරවල මෙන්ම ශ්‍රී ලංකාවේ වනාන්තරවල ද සුනඛ මුහුණුවලින් යුතු 'සයිනෝ සෙලුලි' නමැති ප්‍රභේදයක්‌ විසූ බව ග්‍රීක ජාතික මෙගස්‌තීනිස්‌ගේ වාර්තාවල සටහන් වෙයි. මේ අනුව ලක්‌දිව මඩකලපුව, පානම් පත්තුවේ ලේනම, තමන්කඩුව, පොම්පරිප්පුව, තන්තිරිමලේ අසල වනාන්තරවල ඔවුන් විසූ බවටත් 'නිට්‌ටඹුව, 'නිත්තෑවෙල'(මහනුවර) ආදී ග්‍රාම නාම පිළිබඳවත් විමසන පර්යේෂකයන් නිත්තවුන් නමැති මේ මානව ලක්‌ෂණයන්ගෙන් යුතු ප්‍රභේදය ඈත අතීතයේ කිසියම් දවසක මිහිතලය මත වැළලී යන්නට ඇතැයි විශ්වාස කරන අතර නූතන මෙන්ම අනාගත පරම්පරාවන් ගේ සිත්සතන් තුළ ඔවුන් සදාකාලිකව ජීවත් වීමට ද හේතු ෙ\වන බව ප්‍රත්‍යක්‌ෂ කරයි.

රංචු වශයෙන් ගල් ගුහා, ගස්‌ බෙන, ගල් බෙන, ගස්‌ උඩ සාදාගත් අට්‌ටාල තුළ වාසය කළ මොවුන් ඉතා දිගු සහ ඝණ රෝමවලින් යුක්‌ත මිටි (උස අඩු), උඩු කයින් මිනිසුන්ට සමානකම් දක්‌වන සෘජුව ඇවිදින, වල්ගා රහිත, මුළුමනින්ම නග්නව විසූ ප්‍රභේදයක්‌ ලෙසත්, කෙටි සවිමත් බාහුවලින් යුතු නියපොතු දික්‌ වූ, මොවුන් කුරුලු බිත්තර මෙන්ම හාවුන්, මී මින්නන්, තලගොයින් ලේනුන්, ඉබ්බන්, කකුළුවන්, වැනි සතුන් ගේ මස්‌ ඉරා ආහාරයට ගත් අතර, වටකර පහරදීමෙන් සතුන් ගොදුරු කර ගත්, කුඩා කණ්‌ඩායම් වශයෙන් දිවි ගෙවූ පිරිසක්‌ ලෙස පර්යේෂකයන් ගේ වාර්තා ප්‍රකට කරයි.

කුරුවිට මැණික්‌ පතලකින් සොයාගත් පාෂාණීභූත බෙනයකින් ලැබුණු බෙලිකටු සහ ජලජ ජීවීන් ගේ පාෂාණීභූත නිත්තෑවුන් කා දැමූ ඒවා බවට නිගමනය කරන ආචාර්ය පී. ඊ. පී. දැරණියගල විද්වතාණන් වැද්දන් සහ නිත්තෑවුන් හෝමෝ නම් පොදු මූල මානව ව්‍යqහයට අයත් ප්‍රභේද ලෙස පෙන්වා දෙයි.

'ස්‌පිටල්,' නිත්තෑවුන් වලස්‌ වර්ගයක්‌ ලෙස හඳුන්වන අතර, 'ආචාර්ය නන්දදේව විඡේසේකර සූරීන් ' දක්‌වන්නේ, ඔවුන් මිටි ජන ප්‍රභේදයක්‌ ලෙසත්, ඔවුන් ආසියාවේ මුල් පදිංචිකරුවන් වන උස අඩි පහක්‌ නොඉක්‌මවන 'නෙග්‍රිටෝ' නම් මානව ප්‍රභේදයට අයත් ජන කොටසක්‌ බවත් ය. 'හිල්' (Hill W.C.O.) පවසා ඇත්තේ නිත්තෑවන් යනු 'පිතකැන්ත්‍රොaපස්‌' (Java) නමැති මානව විශේෂයෙන් පැවත එන්නන් බවය. (1945) 'රඹුක්‌වැල්ල' (A.T.Rambukwella‌) වාර්තා කරන්නේ, නිත්තෑවන් 'ඔස්‌ට්‍රොලෝපිතකස්‌' මානව වර්ගයාගෙන් පැවත එන බවය. (1963) එහෙත් අදින් වසර 500,000 කාලයකට පෙර ඔස්‌ට්‍රොලෝපිතකස්‌ සහ පිතකැන්ත්‍රොaපස්‌ මානවයින් මිහිමතින් වඳ වී ගිය බවට එලවන සාක්‌ෂි විසින් පර්යේෂකයින් විසින් මේ මත බැහැර කරවන බව ද, සඳහන් කළ යුතුය. එහෙත් 'නෙග්‍රිටෝ' මිනිසා ආසියාවේ වයඹ දිග රටවල මෑතක්‌වන තුරුම ජීවත්ව ඇති අතර (විශේෂයෙන් අන්දමන් දූපත්) මොවුන් හොමෝ සේපියන් ගහනයට අයත් මානව විශේෂයක්‌ බව මානව විද්‍යාඥයන් තහවුරු කර ඇත.

කොළඹ කෞතුකාගාරයෙහි ප්‍රදර්ශනයට තබා ඇති කුඩා රළු ගල් අවි නිත්තෑවුන් විසින් භාවිත කරන ලද ඒවා බවත්, ඔවුන් කුරු මානව ප්‍රභේදයක්‌ ලෙසත් යටත් විජිත පාලන සමයෙහි සත්ත්වෝද්‍යානය භාරව සිටි 'ඔබ්‍රි වයිමන්' දක්‌වන මතය නිරීක්‌ෂණයට භාජන කළ ශූරික්‌ සරසවියේ ප්‍රාග් ඓතිහාසික යුගයේ, ඉතිහාසය පිළිබඳ මහාචාර්ය සීටෝ බර්ට්‌ විද්වතා, එම ගල් අවි දකුණු ඉන්දියාවේ සිට මෙරටට සංක්‍රමණය වූ නිත්තෑවුන් විසින් භාවිත කරන්නට ඇති බවට අදහස්‌ කරයි.

මඩකලපුව, පානම විසූ සිංහල ජනයා වැදි ජනයාගෙන් දැන ගත් කරුණු මඩකලපුව කච්ෙච්රියේ එවක සේවය කළ ඒ. ඩී. සිල්වා මුදළිඳු දැන ගැනීමෙන් පසුව එම ආරංචි (1887) හ්‍යq නෙවිල්ට ලබා දී ඇති බව ඉතිහාස සටහන් ප්‍රකට කරයි. ඒ ඔස්‌සේ ගිය හ්‍යq නෙවිල් විසින් පානම ආදී ප්‍රදේශවලට ගොස්‌ තමා දැන ගත් තොරතුරු තැප්‍රොබේනියන් සඟරාවට 'Nittaewo The Pygmitible of Ceylon' මැයෙන් නිබන්ධනයක්‌ ලියමින් මෙම ප්‍රභේදය ලොවට හෙළි කිරීමට සමත් විය.

(හ්‍යq නෙවිල්, 1848 ජූනි 19 ලන්ඩනයේදී උපත ලබා මූලික අධ්‍යාපනයෙන් පසුව ලක්‌දිවට පැමිණ විවිධ තනතුරු හොබවමින් 1871 ජූලි 09 දින සිවිල් සේවයේ පස්‌වැනි පන්තියේ නිලධාරියකු බවට පත් ව, විවිධ පළාත්වල විවිධ තනතුරු දරමින් , උසස්‌වීම් ලබා 1895 ඔක්‌තෝබර් පළමුවැනි දින සිට මඩකලපුවේ වැඩ බලන දිසා විනිසුරු ලෙසත් ක්‍රියා කර ඇති අතර, හෙතෙම තම රාජකාරිය පමණක්‌ නොව වන ජීවීන්, මානව සමාජය, පුරාවිද්‍යාත්මක අධ්‍යයනයන්, සාහිත්‍ය ආදී ක්‌ෂේත්‍ර ගණනාවක්‌ පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කළ විද්වතෙකු විය. දිගු නිවාඩුවක්‌ ලබා 1897 පෙබරවාරි මාසයේ දී මෙරටින් බැහැරව ගිය හ්‍යq නෙවිල් ප්‍රංශයේ හයරේ නුවරදී අභාවප්‍රාප්ත විය.)

'Jurnal of the Toyal Asiatic society of Ceylon' ශ්‍රී ලංකාවේ ප්‍රවාද ගත කුරු මානවයෝ ' නමින් නිබන්ධනයක්‌ ලියන ඒ.ටී. රඹුක්‌වැල්ල මහතා පෙන්වා දෙන්නේ, වැදි ජනයා සතුන්ගේ ශාරීරික ලක්‌ෂණ අනුව සතුන් හැඳින්වූ බැවින්. මේ වනචාරීන්ගේ දික්‌ වූ නියපොතු පිහිටා තිබීමෙන් නිත්තෑවුන් ලෙස ප්‍රකට වූ බවයි. එසේම ගුහා තුළ ලගිsමින් මාංශ භක්‌ෂණයෙන් දිවි ගෙවමින් මොවුන් පුරාතන යුගයේ ආසියාව හා අප්‍රිකාව පුරා ජීවත්ව ඇතැයි ද මුහුදු තීරයෙන් ලංකාව වෙන්වීමෙන් එවක මෙරටට සංක්‍රමණය වී සිටි කොටස්‌ මඟින් නිට්‌ටෑවුන් ප්‍රභවය වූ බව ය.

මෙම කුරු මානවයන් පිළිබඳව එඩින්බරෝ සරසවියේ මානව වංශ විද්‍යාඥයෙකු ලෙස ප්‍රකට මහාචාර්ය ඔස්‌මාන් හිල් උපුටා දක්‌වන එච්. ඒ. එන්. ඉන්ද්‍රජිත් මහතා සිය නිබන්ධනයකින් හෙළි කරන්නේ, 'මෙම කුරිරු මෙන්ම ම්ලේච්ඡ වර්ගයා 1795 පමණ කාලයේ සමූල ඝාතනයකින් මිහිමතින් වඳ වී ගිය බව ය,'

සමාජ, මානව හා පුරා විද්‍යාඥයන් මේ සම්බන්ධව දක්‌වා ඇති අදහස වන්නේ, කායික, චර්යාත්මකව හා පාරිසරික වශයෙන් වැදි ජනයාට බොහෝ සෙයින් සමාන වන බවත් ඔවුන් වැදි ජනයාට වඩා අකාර්යක්‌ෂම කොටසක්‌ බවත්, කුඩා කණ්‌ඩායම් වශයෙන් හා තාක්‌ෂණික අතින් දුර්වල ප්‍රභේදයක්‌ වීමත්, ග්‍රාමීය ජනයා සමඟ කිසිදු සහ සම්බන්ධතාවක්‌ නොපැවති අතර හීලෑ සතුන් පැහැරගෙන යැම වැනි දෑ නොකළ නමුත් වැද්දන් ගල් තලා මත වියළෙන්නට දමා තිබූ මස්‌ වැනි, වැද්දන් සතු ආහාර, නිත්තෑවන් විසින් සොරකම් කිරීමත් ඔවුන් වෙත කඩා පැන ඒවා බලා ගත් වැද්දන් මරාදමා පැහැරගෙන යැමත් තමන්ගේ අඩවිය තුළට පිවිස දඩයම් කිරීමත් ඇතැම් විට නිට්‌ටෑ සමූහ තුළ ස්‌ත්‍රීන් බහුලවීම පිරිමි සංඛ්‍යාත්මකව අඩු වීම සහ ජානමය හේතු යන කරුණු සහ පෙර සඳහන් ඇතැම් කරුණු අනුව නිත්තෑවන් ගෙන් පීඩා විඳි වැදි ජනයා පසුව ඒකරාශි වීමෙන්, නිට්‌ටෑවන් සමූල ඝාතනය කර ඔවුන්ගේ නිජ භූමි අත්පත් කර ගන්නට ඇතැයි යන විශ්වාසය ද නිසා නිත්තෑවන් මිහි මතින් සදා කාලිකවම සමු ගන්නට ඇතැයි යන කරුණ අපට විශ්වාස කළ හැකිය. ඔවුන් විසූ බවට පැහැදිලි තොරතුරු ඇති ප්‍රදේශ විශේෂ අධ්‍යයනයකට ලක්‌ කර කරුණු හෙළි පෙහෙළි කරන්නට පෙළඹුණ හොත් නිත්තෑවන් පිළිබඳව පවතින මතිමතාන්තරවලින් දුරස්‌ව අනාගත පරපුරට සැක හැර දැන ගැනීමේ භාග්‍යය උදා වෙනු ඇත.

විවිධ මානව සමූහයන් හි සංස්‌කෘතීන්හි පවතින වෙනස්‌කම් හා සංවර්ධනය පිළිබඳ විමසීමකට යොමුව ඇති නූතන යුගයේ, අනන්‍යතාව රැක ගැනීමට වෙර දරන මානව කොට්‌ඨාස පිළිබඳව මෙන්ම මිහිමතින් සමුගත් අපේම නෑයන් පිළිබඳව තවදුරටත් පර්යේෂණ සිදු විය යුතු නොවේද.


ආශ්‍රීය කෘති

* මිනිසාගේ සම්භවය - එම්. නෙස්‌තුර්හ්

* මානව විද්‍යාව හැඳින්වීම - මහාචාර්ය ප්‍රියශාන්ත ගුණවර්ධන

මහාචාර්ය ගාමිණී අධිකාරී

* සමාජ විද්‍යාව හා මානව විද්‍යාව - මහාචාර්ය නන්දසේන රත්නපාල

* ශ්‍රී ලංකාවේ ප්‍රාථමික ජනතාව - සේපාල සමරසේකර

* ලේඛකයා ගේ, මහා සමාජය තුළ ශේෂ වී යමින් පවතින ශ්‍රී ලංකාවේ ප්‍රාථමික ජනයා නමැති නිබන්ධනය - 2011,

* සිරිලක දෙවිවරු - මහාචාර්ය තිස්‌ස කාරියවසම්

No comments:

Post a Comment