Thursday, May 23, 2013

වාරණ රජමහ විහාරය

වාරණ රජමහ විහාරය






 
    බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත‍්‍රික්කයේ අත්තනගල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සියනෑ කෝරළයේ මැදපත්තුවේ ඔයබඩ පේරුවේ මහා ගල් කුළුවලින් වටව මංගලතිරිය ගම්මානය පිහිටා ඇත. ගිරිකුළු සමූහයක් වට වී ඇති බැවින් ගිරිමණ්ඩල යන්න මණ්ඩල ගිරි වී පසුව මංගලගිරිය, මංගලතිරිය වූ බවත්, තූර්ය වාදකයින් උදෙසා රජ දවස දුන් ගම්වරය (මංගල තූර්ය, මංගල සිරිය වී පසුව* මංගලතිරිය වූ බවත්, කඳු ගැටය මුදුනේ ඇති ගල් පර්වතය දුරට ඇතෙකු සේ දිස්වන නිසා වාරණ යනුවෙන් ද වා නැමැති ගස්වලින් සැදි අරණක් නිසා (වා-අරණ, වාරණ* වූ බවත් ප‍්‍රවාද ගතව ඇත. ( වා ගස් අතරින් පතර අදත් දැකිය හැකි වුවද ඉක්මණින් විනාශ මුඛයට පත්වන කාරණය මෙම ගවේශනයේ දී අපට දැක ගැනීමට හැකිවිය, ඒ ගැන පසුව ඔබට දැන ගැනීමට ලැබෙනු ඇත* කෙසේ නමුදු වත්මන් මංගලතිරිය වශයෙන් හඳුන්වන මෙම ගම් පියස ලොව ප‍්‍රකටවී ඇත්තේ වාරණ නමිනි. වාරණ යනුවෙන් ගමක් නොමැති නමුත් ඓතිහාසික රාජමහා විහාරය නිසා ගමට ද ඇතැම්හු වාරණ යනුවෙන් හඳුන්වනු ලබති. තවත් අපූරු පබැඳුමක් වන්නේ, යටගිය දවස මහ පඬිරුවනක් ව වැඩසිටි දංගල්ලේ අත්ථදස්සි නායක ස්වාමීන් වහන්සේ වැඩවාසය කරද්දී මෙම විහාර පරිශ‍්‍රයේ පිහිටි විශාල ගිරි සිඛරය වන ඉඩම් ගල නම් මහ ගල් කුලට ලැගම් ගැනීමට පිවිසෙන දෑවැන්ත ඇත් කඳ ලිහිණියා පසුබිම් කර ගෙන මෙම වාරණ නම සෑදී ඇති බවත් ය.
ප‍්‍රදේශය හරහා ගලන අත්තනගලූ නදිය සශ‍්‍රීකත්වය වඩන්නට දායක වන අතර මහා වෙල් යාය සාම්ප‍්‍රදායික වගාවන් සමග විවිධ පලතුරු වර්ගවලින් පෝශිත ගම්මානයට ඓතිහාසික වටිනාකම එක් කරන විහාරය මෙම ප‍්‍රදේශයට නව ජීවනයක් ලබා දෙන බව අමුතුවෙන් කිව යුතු නැත.
ගමන් මාර්ගය
කොළඹ නුවර ප‍්‍රධාන මාර්ගයේ සැතපුම් 14 ක් පමණ ගියවිට යක්කල නගරය හමුවේ. එතැනින් දකුණට සැතපුම් 2 ක් පමණ ගිය තැන නෙල්ලිගහමුල මංසන්ධිය හමුවනු ඇත. එතැනින් වමට හැරී සැතපුම් එක හමාරක් පමණ ගිය තැන මෙම ගම්මානය හමුවන අතර එම මංසන්ධියෙන් දකුණට හැරී යාර 500 ට පමණ ඔබ්බෙන් වාරණ විහාරයට පිවිසුම් දෙර හමුවනු ඇත.
කොළඹ නුවර ප‍්‍රධාන මාර්ගයේ එන විට හමුවන යක්කල නගරය පසුකර සැතපුම් කාලක් පමණ ඉදිරියට ගියවිට අළුත්ගම පත්තිනි දේවාලයට නුදුරින් ගම්පහ ගොරකදෙනිය බස් මාර්ගය හමුවෙනු ඇත . එම මාර්ගයේ පැමිණ වීරඟුල පොලිස් ස්ථානය පසුකර සැතපුම් කාලක් පමණ ඉදිරියට ගියවිට ඔබ පිවිසෙන්නේ මෙම ගම්මානයටය.
 කාළඹ නුවර ප‍්‍රධාන මාර්ගයේ එන විට හමුවන (යක්කල පසුකර* කළගෙඩිහේන මංසන්ධිය හමුවනු ඇත. එතැනින් දකුණට ඇති මංගලතිරිය පාරේ කි. මී.3 ක් පමණ ගිය විට වෙල්යායක් මැද දර්ශනීය පරිසරයක මෙම විහාරය වෙයි. කොළඹ නුවර ප‍්‍රධාන මාර්ගයේ එන විට හමුවන තිහාරිය මසංසන්ධියෙන් දකුණට ඇති නිට්ටඹුව  ඕගොඩපොල බස් මාර්ගයේ  කි’’.මී. 04 ක් පමණ ගමන් කළවිට දකුණුපසින් නිල්වන් අහස සිසාරා පුරාණ රජමහ විහාරය දර්ශනය වනු ඇත. යක්කල හන්දියෙන් කිරිඳිවැල මාර්ගයේ උඩතුත්තිරිපිටිය හන්දියට විත් එතනින් වම් අතට ඇති මාර්ගයේ කි. මී. 04 පමණ ගිය විට ද පහසුවෙන් මේ පුද බිමට ඔබට ළඟා විය හැකිය.

ඓතිහාසික විමසුම

දෙවනපෑතිස් රාජ්‍ය සමයේ එනම් ක‍්‍රි. පූ 250 - 210 පමණ තිස්ස දත්ත තෙරුන් වෙත පූජා කළ බව
6 වන පරාක‍්‍රම බාහු රජු වසර 550 ට පමණ පෙර යහළ මහ විහාරය කරවා සන්නසකින් පිදීම
පොළොන්නරුව රජ පැමිණි නිශ්ශංකමල්ල රජු දර්ශනීය විහාරයක් කරවූ බව
දඹදෙණි රජ දවස පණ්ඩිත පරාක‍්‍රමබාහු රජු ගේ ප‍්‍රතිරාජ දේව අමාත්‍යයා විසින් අනුග‍්‍රහය දැක්වූ බව ක‍්‍රි. ව. 1250- 1285*
වලගම්බා රජ සැඟව සිටි සමයේ ආරක්ෂක ස්ථානයක් වීම. ක්‍රි.පූ. 103 -89
රජු යළි රාජ්‍යත්වයට පත්වීමෙන් පසු, ලෙන්තුළ කටාරම් කෙටවීම හා විහාරයක් කරවීම.
විහාර භූමියේ ඉඩම් ගලට නැගෙනහිරින් වූ දිග් ගලෙහි කි.පූ. 3 වැනි සියවසේ මුල් අවධයට අයත් බ‍්‍රාහ්මීය අක්ෂරවලින් ලියා ඇති සෙල්ලිපිය. ‘බතමඣංශ බත්ත මත’ මඣිම ස්වාමීන් වහන්සේ ගේ සහෝදරවූ  තිස්ස දත්ත ස්වාමීන් වහන්සේ වෙත පුදන ලද බවය. ( තිස්සදත්ත තෙරුන් වහන්සේ නම් මිහිඳුමහ රහතන් වහන්සේ ගේ සිද්ධි විහාරික තෙරුන් වහන්සේය* පරනවිතාන මහතා පවසන්නේ, මෙම ස්ථානය ක‍්‍රි පූ 3 වන සියවසේ මුල් අවධියට අයත් ඉපැර’ අරණ්‍ය ගත විහාරස්ථානයක් බවය.
ක‍්‍රි පූ 1187 සහ 96 කාලය තුළ පොළොන්නරුව රජකම් කළ කීර්ති ශ‍්‍රී නිශ්ශංක මල්ල රජු ගේ ප‍්‍රතිසංස්කරණයන්ට පෙර වළගම්බා රජු විසින් මැද මළුවේ ලෙන තුළ කරවන ලද විහාර මන්දිරය, තුළ දහ අට රියන් පිළිම වහන්සේ සූවිසි විවරණය සත්සතිය ශෛලමය වියනෙහි පවතින සිතුවම්ද කළ සිත්තර පරම්පරාවේ අවසන් පුරුක් අදද විහාරස්ථානයේ දායක පිරිස් අතර ජීවත්ව සිටින බව අධ්‍යයන තුළින් තහවුරු වෙයි.




ක‍්‍රි පූ 1742 සහ 82 අතර කාලය තුළ දඹදෙණිය රජකල පන්ඩිත පරාක‍්‍රම බාහු රාජ අනුග‍්‍රහයෙන් පැමි’ ප‍්‍රතිරාජ දේව අමාත්‍යයා මෙහි මහත් පින්කම් කළ බව
කෝට්ටේ රජ පැමිණි අට වැන් පැරකුම්බා රජු කීරවැලි බිසවත් සමග පැමිණ මෙහි බඩමුගල අභියස උතුරු දෙසින් බණමඩුවක් සාදවා සති පිරිත් පිංකමක් කරවූ බව සහ එහි අනුශාසනය සිදු කළ අසල්වැසි ගමක වූ කහඹිලි හෙනේ පදිංචි සෙන්දිරිප්පෙරුම නම් තෙරුන් වෙත දෙවන වරටත් නායක පදවියක් සමග ගම්වරයක් පූජාකළ බවත් ෙදාරකඩ අස්න බන දේසනා කළ අල්පිටිගම ළමයාට ශ‍්‍රී වර්ධන ෙදාරකඩ මුදලි යන නම්බු නාමය සමග නින්ද ගමක් දුන් බවත් පුරාණ අල්පිටිය තඹ සන්නසෙහි සඳහන් වේ.
පුරාණ බෙලිගල සන්නස ද වාරණ විහාරය පූජා කර ඇති බව සනාථ කරයි. ” ශ‍්‍රී බුද්ධ වර්ෂයෙන් එක් දහස් නවසිය පනස් අටක් වූ වෙසඟපුර සයවන තිථියලත් බ‍්‍රහස්පතින්දා පුෂ නැකතින් දෙවා වදාල වම්හ. මේ තාම්බ‍්‍ර පත‍්‍රය ලියා දුන් බවට සමලේල පෙරුම වම්හ”
මෙම සන්නස එවක විසූ මෙහි නායක තෙර වශයෙන් කටයුතු කල රාජ පූජිත සෙන්දිරිප්පෙරුම තෙර ස්වාමීන් වහන්සේට ඉහත ස්ථාන ෂතර පූජා කොට ඇත.
6 වන පැරකුම්බා රජු මැද මළුවෙහි මහ වෙහෙර ප‍්‍රතිසංස්කරණය කර එම ගල් වියනෙහි අළුතින් සිතුවම් අන්දවා ඇත. සීතාවක රාජසිංහ රාජ්‍ය යුගයේදී මෙහි භික්ෂූන් හා වෙහෙර විහාර විනාශකළ බවද සඳහන්ය. මේ විනාශය නිසා වැඩසිටි භික්ෂූන් වහන්සේලා ෂත් කෝරලයට පලා ගොස් බසුව කීර්ති ශ‍්‍රී රාජසිංහ රජ දවස නැවත වාරණ විහාරය වෙත වැඩම කළ බවත් විශේෂ ආරක්ෂාව ලද බවත් ප‍්‍රකටය. එපමක් නොව කෙත්වතු පූජා කරමින් මෙහි දියුණුව ප‍්‍රාර්තනා කළ බව ද ජන ප‍්‍රවාදයන්හි  සඳහන්ය.


ශ‍්‍රී වික‍්‍රමරාජසිංහ සමයේ රාජ උදහසට ලක්වූ පරණාතල සෝණුත්තරහා බලකඩුවේ සෝභිත යන භික්ෂූන් වහන්සේලා දෙනම කලක් මෙහි අප‍්‍රකටව වාසය කරමින් සිට රන් ධාතු කරඬුවක් සමග වටිනා පිළිම වහන්සේ නමක් හා තඹ සන්නසක් රැුගෙන පලාගොස් ඇති බව ද අප‍්‍රකට ඉතිහාස සටහන්වල වෙයි.
1860 පමන මෙහි නායක පදවි ප‍්‍රාප්ත දංගල්ලේ ශ‍්‍රී අත්තදස්සී නායක මාහිමිපාණන් වහන්සේ විහාරයට අහිමිව ගිය ඉඩකඩම් නැවත ලබා ගැනීමටත් 6 වැනි පැරකුම්භා රජු විසින් කරවූ ධර්මශාලාව දිරාපත්ව පැවති බැවිණුත් නව ධර්මශාලාවක් එම ස්ථානයේම කරවූ බවත් කියවෙයි.
උන්වහන්සේගෙන් පසුව විහාරාධිපත් වශයෙන් පත් වන්නේ, උන්වහන්සේ ගේ ශිෂ්‍ය බෝමිරියේ සිරි සුනන්ද ගුණරත්න ස්වාමීන් වහන්සේය. උන්වහන්සේ උඩමළුව විහාර ප‍්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කළත් කාර්යය නිම කිරීමට ප‍්‍රථම අපවත් වී  වදාළ හෙයින් එම හිමියන් ගේ ජ්‍යෙෂ්්‍ය ශිෂ්‍ය කොස්සින්නේ ශ‍්‍රී පඤ්ඤනන්ද ස්වාමීන් වහන්සේ එම අතරමග නැවතුන විහාර කර්මාන්තය අවසන් කළේය. අවසානයේ එම අබියස කරවූ විචිත‍්‍ර මණ්ඩපයක සති පිරිත් පිංකක් පවත්වා නේත‍්‍රා ප‍්‍රතිස්ථාපන පුණ්‍ය කර්මය ද මැද මළුවේ විහාර මන්දිරය ද ප‍්‍රතිසංස් කරණය කරවා ප‍්‍රතිමා වහන්සේලා ගේ නැවත නේත‍්‍රා ප‍්‍රතිස්ථාපනයද පහළ මළුවේ අගනා තෙමහල් මන්දිරය ද, දාන ශාලාවද කරවා විහාරස්ථානයේ පුනර්ජීවනයට දායක වී ඇත.
ඉන්පසුව විහාරස්ථ මංගලගිරි පිරිවණේ පරිවේනාධිපති ධූරයට පත්ව ආ ඇස්වත්තේ ධර්මතිලක ස්වාමීන් වහන්සේ පිළිබඳ විහාර ඉතිහාසයෙහි සදහන් වන්නේ අඳුරු යුගයක් වශයෙනි. විහාරාධිපති තනතුරට අධිකරණ නියෝගයකින් ඊළඟට හිමිකම පැවරෙන්නේ, අති පූජ්‍ය ෙදාම්පේ ධම්මරතන ස්වාමි පාදයන් වහන්සේටය. එ් ක‍්‍රි ව 1930 මැයි මස 17 වන දින සිටය.
උන්වහන්සේ පැවති අඳුරු යුගය නිමා කරමින් විහාරස්ථානයේ දියුණුවට අපමණ වැඩ කොටසක් සිදු කළ අතර ධර්ම ශ‍්‍රී කීර්ති ගෞරව නාමයෙන් හා මීගමු පළාත් සහිත සීනාදී සිව් කෝරළයේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන්ද පුද ලබමින් විහාරස්ථානයේ පුනරාලෝකය උදා කිරීමට සමත් වූහ. සියළු විහාරාංග අලූත් වැඩියා කරමින් විදුලි බලය මෙන්ම විහාර පරිශ‍්‍රයටම ජල නල පද්ධතියක් ස්ථාපනය කරමින් ඉඩම් ගල යට පිහිටි ලෙන් ආවාසය ඉවත් කර නව සංඝාවාසයක් සිය ගුරුදේවයාණන් ගේ නමින් ස්ථාලිත කළහ. එපමණකුදු නොව අඳුරු යුගයේ වැසී ගිය මංගලගිරි පිරිවෙන නැවත ස්ථාපිත කිරීමෙන් හා නේවාසික ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ගේ පහසුකම් ද සලසාලමින් අමරණීය සේවාවක් ඉටු කර ඇත. එමෙන්ම කොප්පරා ගලයට ආවාසයන් ද නවීකරණය කළ අතර විදෙස් චාරිකාවන් ගෙන් පවා ලද පරිත්‍යාග වැඳපුදා ගැන්මට සලසා දුන් අතර 1996.04,25 දින අපවත්වී වදාළහ.

එතැන් සිට දොම්පේ පුඤ්ඤනන්ද මිහිපාණන් වහන්සේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උරුමය අනුව විහාරාධිකාරී වශයෙන් අගනා මෙහෙවරක්සිදු කරමින් කටයුතු කිරීම සතුටට කාරණයකි. විශේෂයෙන්ම මැද විහාරයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු හා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ සහායෙන් විවිධ අනුග‍්‍රහයන් ලබා විහාරයේ දියුණුවට කටයුතු කිරීමත් අනාගත පරපුරේ අභිවෘද්ධියට හේතු වන බව ගෞරව පූර්වකව සඳහන් කළයුතුය.
විහාර කර්මාන්තය එදා දෙවන පෑතිස් රජ දවස දක්වා ඉතිහාසයට විහිද යන අතර මෑත ඉතිහාසයේ සංවර්ධන කටයුතු පිළිබඳ වැදගත් තොරතුරු රැුසක් අපට දැන ගැනීමට හැකි වීම සතුටට කරුණක් බව සඳහන් කළ යුතුය. විහාර චිත‍්‍ර කර්ම ගැන උරුමයක් ඇති සිත්තර පරම්පරාවක් මංගලතිරිය ගමේ ජීවත්ව සිටින අතර ඔවුන් ගේ අවසන් පුරුකක් ලෙස හඳුනා ගත් විශ‍්‍රාමලත් විදුහල්පතිවරයෙකු වන චන්ද්‍රරත්න මහතා අපූරු තොරතුරු රැසක් හෙළි කළේ මෙලෙයසි.


 

 ඉහළ විහාරයෙ සැතපෙන පිළිමය කළේ මගෙ මුත්ත, ඒ කියන්නෙ (1880* එක් දහස් අටසිය අසූ ගණන්වල ඔය පාමුල තියන හිඳිපිළිම වහන්සේලා තුන්නමම කළේ මගෙ සීය. මෑත ඉතිහාසයෙ ලියවෙන නේත‍්‍රා පිංකම 1885 දී සතිපිරිතක් සහිතව කෝට්ටෙ සමයෙ කීරවැලි බිසවගෙ ප‍්‍රධානත්වයෙන් තමයි සිදු කෙරිල තියෙන්නෙ. සීය පසු කාලයෙ අපිට කියල තියෙනව, මුත්ත ෂඩංගං කියමින් කණ්නාඩියෙන් බල බල තමයි නේත‍්‍රා පිංකම කරල තියෙන්නෙ, එ්ක ලොකු පිංකමක් කළුපැහැ ගොනෙක් හෙම ගෙනල්ල කරන්නෙ. මුත්ත මැරිල තියෙන්නෙ 1928 දී එතකොට අවුරුදු එකසිය දෙකක් ජීවත්වෙලා තියෙන බව තමයි අපේ පරම්පරාවෙ උදවියගෙ මතකය. මේ පිළිමවල පවතින ශාන්ත බව මහා පුරුෂ ලක්ෂණ ඉස්මතු කරවන අපූර්වත්වය තමයි, මුත්ත ගෙ නම සලාරිස් ෂලංචි කියලත් කියනව අපේ සීය ගෙ නම බබානිස් මේ අය පංසලේ උයාගෙන කාල තමයි ඔය කර්මාන්ත කරල තියෙන්නෙ, දිදුලන ඇසින් යුතු උදාර හැඟීමෙන් අපට  පැරණි තොරතුරු  සඳහන් කළේ. එලෙසිණි”
         කන්දෙ විහාරය, ඉහළ විහාරය, පැරණි විහාරය නමින් හඳුන්වන මෙම පර්වත විහාර ගැන පුරාණ වර්ණනාවක දැක්වෙන්නේ,

මෙහි සෙල් පිළිමය             ක්
වේය වැඩසිටි   විලස           ක්
මෙත් බෝසත්  රුව             ක්
වේය වළගම්බා පසෙක එ     ක්


දොරටුව ඉදිරි                   යේ
මකර තොරණ ද නිමි        යේ
දකුණුපසැ දිසි                  යේ
දේවතා බණ්ඩාර දෙවි      යේ

මන්දස්මිත ගුණයෙන් යුතු ශාන්ත පිළිම වහන්සේලා දකින  ඕනෑම නෙතකට ඉබේම සිත් පහන්වන ගුණය අපිරිමිත බවින් යුක්තය. අවට පරිසරය ද ඊට සාපේක්ෂව දක්වන දායකත්වය ඉමහත්ය. එදවස මහ රහතන්වහන්සේලා නිවී සැණසී වදාල මේ පුන්‍ය භූමිය රාජ රාජ මහා අමාත්‍යාදීන් ගේ රැුකවරණයෙන් පිදුම් ලැබූ අතර ඔවුන්ටද සතුරන් ගෙන් ආරක්ෂා වීමට පිහිටවූ බව ඉතිහාසය අපට මතක් කර දෙයි.
ඉහළ ගල් තලය අවට සිසාරා ඇති වන උයන වටිනා බෙහෙත් වර්ගවලින් ද සමන් විතය. මද දුරක් ඔබ්බෙන් පිහිටි කටාරම් සහිත ලෙන් බිම 2010 වසරේ කැණීම් කළ පුරා විද්‍යාඥයින් වසර 6000 ට පෙර මානව ජනාවාසයක් පැවති බවට ඔවුන් භාවිත කළ ශිලා අවි පරීක්ෂා කර මතයක් පළ කර ඇත.

මේ ගිරිසිකර මත සිට පෙනෙනා  කදිම
දසුනකි බලන්නට හැම නෙතකට  පුදුම
පසෙකින් සමුදුරය එය සිතිජය     ළඟම
සමණල වඳින්නට හැක මළුවේ      සිටම
පසුකර  උයන යන විට ඊළඟ     ලෙනට 
මගදී දකින පොකුණකි දිය පිරි      යසට
මේ ගල් තලය මත නොසිඳෙන මෙම දියට
දිගු ඉතිහාසයකි රජයුගයෙන්        පෙරට

එක එක හැඩවලින් සැදි මේ ගිරි    සිඛර දෙස මදක් බලා සිටින විට විවිධසතුන් ගේ ඉරියව් මතකයට නැගෙනු ඇත’. අලි ගල, කොණ්ඩ ගල, නයි පෙණ ගල, මෙන්ම ඔටුනු ගලද, නරඹන සිත් වශී කරනු ඇත. පෘතුගීසි යුගයේ ලක්දිව සිදුවන විනාශය මෙම පුද බිමටද බලපා ඇති බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. 




මැද විහාරයෙහි පියස්ස රඳවා ඇති ගල් කුළුනු 11
කින් ඉදිරිපස දක්ෂිණ කලාපයෙහි පිහිටි අවසන් ගල් කනු දෙක ඓතිහාසික අතින් වැදගත් තවත් වැදගත් වන්නේ එක් කනුවක වැඩ අවසන් නොකළ රූපයකුත් අවසන් කණුවේ වැඩ අවසන් කළ රුවත් නිසාය.
මේ දිස්වන්නේ එම රුවයි මෙහි ලක්ෂණ හොඳින් පරීක්ෂා කිරීමේදී නිරීක්ෂණය වූ ලක්ෂණ මෙසේය.
මෙම රුව අඩි 1යි අඟල් 8 ක උසකින් සහ පළල
අඟල් 8 කින් ද ජටා මකුටය අඟල් 8 කින්ද සමන්විතය
සර්වාභරණයෙන් යුක්තය
ඔටුන්නක් පැළඳ සිටී
වරද මුද්‍රාව
කර්ණාභරණ පැළඳ සිටී
පාද ජාලා දිස්වෙයි
බඳ පටිය (මැණික් ඔබ්බන ලද*
නිරායුධ
පැහැදිලි මදි නලල් රුව ( සිරි පතුල හෝ ත‍්‍රී ශූල ලාංඡුනය*
මේ අනුව රජ රුවක් හෝ දෙව් රුවක් වශයෙන් මිස ස්ථිර වශයෙන්ම බහිරව රුවක් විය නොහැකි බව පැහැදිලි වෙයි. මෙම විහාරස්ථානය හා අවට පරිසර නිරීක්ෂණයේ දී, විහාර වාසී පූජ්‍ය පියනන්ද හිමියන් ලබා දුන් සහය මෙන්ම සිත්තර පරම්පරාව වෙනුවෙන් කරුණු දැක්වූ චන්ද්‍රරත්න මහතාත් මෙම ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරී මහතාත් අසල්වැසි මා මිත‍්‍ර සේමසිරි මිතුරාත් ආදරයෙන් සිහිපත් කරමි.(ඡුායා රූපය 5*
වෙල්යාය මැදින් පැමිණ මකර තොරණින් ඇතුල් වී සමාධි පිළිමය වැඳ පුදා ගන්නා සැදැහැවතුන්ට ඉදිරියෙන් පෙනෙන තෙරුවන් මැදුරට ගොස් ධාතූන් වහන්සේලා වැඳ පුදා ගෙන මැද මළුව දෙසට නැගීමට පෙර බණමඩුව පිටුපසට වන්නට ඇති ඉඩම් ගලට පිටුපසට වන්නට පහසුවෙන් නෙත ගැටෙණ ස්ථානයක පුරාණ සෙල්ලිපිය දැක ගත හැකිය. ” බත මඣිමය බතික බත තිශදතශ දනෙ” ක‍්‍රි. පූ. පළමු ශත වර්ෂයට අයත් පූර්ව බ‍්‍රාහ්මීඅකෂරයෙන් ලියවුණ මෙම ලිපිය මගින් තිස්සදත්ත නම් ථෙර නමකට පූජා කළ බව කිය වෙයි. අද මෙම ස්ථානය ආරක්ෂා කිරීමට ආවරණයක් සකස් කර තිබිම සතුටට කරුණකි.
තෙත් කලාපීය වනාන්තර මෙන්ම උස් ගිරි කුළු අසල ද මනාව වැඩෙන වා ගස වසන්තය එළඹෙද්දී මලින් බරව පරිසරය අලංකාර කරයි. විහාරයට එ් නම යෙදෙන්නට තරම් අලංකාරයක් එකළ පවතින්නට ඇතැයි අද තැනින් තැන දකින මේ සෞන්දර්යයෙන් සිතන්නට පුළුවන. අප මෙවර පැමිණෙන විට මල් වරා දිගු කරලින් බරව විහාරය දෙසට නමස් කාර ලීලාවෙන් පැවති වා ගසක අමිහිරි අත්දැකීමක් අප ස්වාමීන් වහන්සේ විස්තර කරන අයුරුයි මේ.
දෙබරු ඇවිත් මේ ගස්වල කඳ විදල මැලියම් අරගෙන යනව කූඩු හදන්ඩ, එ් සිදුරුවල මේ පිළව් ඉන්නව” බලන්න වා වෘක්ෂයක කඳෙන් එළියට ගන්නා ”පිළව් කෝෂයක්” එ් සිදුරු පරීක්ෂා කළ අපට දැක ගන්නට ලැබුණේ මධ්‍යය දක්වාම සිදුරු කළ ආකාරයයි. ” මේ ගස් හොදින වැඩුනත් ටික කලකින් කඩා වැටෙණ රහස අප දැන ගත්තේ එවිටයි. කිසියම් වෘක්ෂ විද්‍යාඥ යෙකුට මාහැඟි පින්කමක් මෙම වා ගස් රැුක දෙන්නට හැකි නම් සිදු කර ගත හැකිය.”
(වා ගසක් විදින දෙබරෙක් පෙන්වමින්*

විහාරවාසී පියනන්ද හිමියන් මේ ඉතිරිව ඇති වා ගස් රැුක ගන්නේ කෙසේ දැයි නිතර සිතන බව අපට හැඟුනේ එ් ගැන නිතරම කතා කළ ආකාරයෙනි.

අවට ඇති ඔසු වනයට ද උන් වහන්සේ දක්වන්නේ එවැනිම මෛත‍්‍රියකි. අංකෙන්ද, රදලිය, කර, හිංබෝවිටි, මුඩමහන, කදුරු, කුකුල්වැස්ස, පෝට, කැබැල්ල, බෝමී, කැප්පෙටි, හිත්, කිරි නුග, අංකෙන්ද,   වෙලං, ගල්තරණ, මිල්ල, පමණක් නොවෙයි කොහිකිරිල්ල, ඇඹිල්ල, දං වැනි පලතුරු ගස්ද මෙහි චමත්කාරය ඇති කරන්නට සමත්ව ඇත. එහෙත් කණගාටුවට කරුණක් වන්නේ මෙහි යන එන උදවිය මේ වන තීරයට කිසිදු ඇල්මක් නැතිව කටයුතු කරන ආකාරයයි.පොලිතින් හිස් වතුර බෝතල් තැන තැන දමා යාමත් වගකීමකින් තොරව හැසිරීමත් මේ ඓතිහාසික පින් බිමට කරන අගෞරවයක් මෙන්ම දෙලොවම පිරිහීමට කරුණක් වන බවද අවධාරණය කළ යුතුය. 

මෙම සිද්ධස්ථානයේ  දියුණුව උදෙසා මහත් කැපවීමෙන් කටයුතු කර ඇති බී.ජේ.පී. ප‍්‍රනාන්දු මහතා විශාල පරිශ‍්‍රමයක් දරමින් මීට දසක අටකටත් පමණ පෙර ගල් පඩි කප්පවා මාර්ගය සකස් කර, ජල නල පද්ධතියක් ස්ථාපිත කර ගොඩනැගිලි ඉදි කරවා අනාගත පරම්පරාවන් වෙනුවෙන් සිදු කර ඇති සේවය ගෞරවයෙන් සිහිපත් කළ යුතුය.

මෙම විහාර සංකීර්ණයෙහි මැද මළුවෙහි දක්නට ලැබෙන සඳකඩ පහන් 04 කි එ් සියල්ලම අනුරාධපුර යුගයේ කලාව ඉස්මතු කරන අතර ඝංටාර කුළුණ අභියස විහාරයට ඇතුල්වන ස්ථානයේ පිහිටුවා ඇති ස`දකඩපහන අනිකුත් එ්වා 03 ට වැඩිය පැහැදිලි හා මටසිළුටු බවක් පෙන්වයි.

ප‍්‍රතිසංස්කරණ හා ඉදිකරවීම් සිදු කර සැදැහැවතුන්ට ඉමහත් සේවාවක් ඉටු කර ඇති බව අපට කිසිසේත් අමතක කළ නොහැකි ය.

සුනිල් කුමාරසිංහ අතුකෝරල
071 81 42213

1 comment:

  1. ශ්‍රී පාදස්ථානයේ පිහිටිමට අනුව ඉදි කර ඇති 'සිරීපාදය' වැඳපුදා ගැනිමට මෙවර අවස්ථාව සලසා ඇත.පඩි පේලි සිය ගණනක් නැග ඉතා ඉහළ ගල්කුලක් මත ඉදි කර ඇති මේ පූජණීය පෙදෙසට පැමිණ වෙහෙස මහන්සි වූ සැමට පිං පෙත් ප්‍රාර්ථනා කරමු.

    මෙයට පර්යේෂකයා

    ReplyDelete