Tuesday, May 7, 2013

ස්ප්‍රිංවැලි සංචාරක සටහන







  ඓතිහාසික බදුලූ පුරවරයේ පිහිටි ගත සිත පුබුදුවන ‘ වසන්ත නිම්නය’ (ස්ප‍්‍රිං වැලි* සංචාරක සටහන)

සොබාදහමේ අපූරු දායාදයක් වූ සිත් පොබයන මේ වසන්ත නිම්ණය භූමි කළාපය තුළ සැබැවින්ම වසන්තය හැමදාකම ඇතැයි එහි පිවිසි මට සිතුණි. මම මගේ අත්දැකීම් ඔබත් සමග බෙදා හදා ගන්නට සිතුණේ එබැවිණි. මට ඒ සදාහරිත වන පෙත එසේ නැත්නම් වන කොමළිය සුනිල්වන් දිය දහරා, උස් කඳු පෙළ වටකරගෙන පිහිටි මේ මනරම් භූමි භාගය කෘෂිකාර්මික දිවි පෙවෙතෙහි අත්දැකීම් සපිරි සොඳුරු මිනිසුන් විවිධ පැහැගත් ගහ කොළ මල් මෙන්ම මාස ගණන් ආයු වර්ණැති වෙස් ගන්නා මලින් ද සුසැදි අපූර්වත්වයෙන් යුතු පරිසරය කිසිදාක අමතක නොවන බව නම් ඔබට පැවසිය යුතුම කරුණකි.


ඌව ප‍්‍රදේශයට මායිම් ලෙස ද දැක්වෙන්නේ, වටිනාකම් රැසකින් සමන්විත පෙදෙස්මය ජන කවියා එය අපට පවසන්නේ, මෙලෙසය,
දකුණු නැගෙනහිර මෙ දිසා වලියෙන්       ද
ලකුණු රැඳුණු සිරිපා සමණොළ         කන්ද
වැටුණු මුහුදු තෙර වලවේ නදියෙන්          ද
ලකුණු වීය එදා ඌවේ මායින්                   ද

උඩුකිඳ බින්තැන්න මහවනයෙන්           දිස්ස
යටිකිඳ වියළුව ද බුත්තල              වෙල්ලස්ස
ම න න ද වැල්ලවාය ද යන මෙ      පෙදෙස්ස
මෙම සඳ ඇතුලත්ව ඇත ඌවට            තිස්ස

ජනප‍්‍රවාද රැසකින් පිදුම් ලබන ඌවේ ජනතාව පිළිබඳ අතීත රජ දවස පිළිබඳව පවතින තොරතුරු සම්භාරය තුළ ඌවේ කලක් රජකළ ප‍්‍රාදේශීය රජෙකු වූ කුමාරසිංහ (1631-34*) ගෙන් පසු කාලයේ මෙහි පැවති ශ‍්‍රී විභූතිය විනාශයට පත්කළ බවට පවතින සාක්ෂි අතර සත්ව සංහතියේ විනාශයත් මහපොළොව සේදී මතුව ඇති මහ ගල් කුළුත් මොනවට සාක්ෂි දරයි ද. එකළ මෙහි පැවති දියුණුව පිළිබඳව සිතා ගැන්ම එතරම් අසීරු නොවන බව සිව් වැනි උදය රජු කළ බවට විශ්වාසිත සොරබොර සෙල් ලිපිය මනා නිදසුනකි. එමෙන්ම  විදේශිකයින් ගේ සටහන් තුළින් ද එහි තරම අපට සිතා ගත හැකිය. ආචාර්ය ඔන්ඩාට්ජි හා ඬේව්, ඇෆ්. සී. පිෂර්, හර්බට් වයිට්, රොබට් විල්මට් හෝර්ටන්(1831-1837*, සැමුවෙල් බේකස්, මේජර් ෆෝබස් (1840* වැනි විදෙස් ජාතිකයින් ගේ වාර්තා එහි දී වඩා වැදගත්වන බව කිවයුතුය.
එකළ ඌවේ පැවති පුරාණ ගම් 79000 ක් අතර වී, එලවළු, පලතුරු, විවිධ ධාන්‍ය වර්ග වගා දිගා කරගෙන දිවිපෙවෙත පවත්වා ගෙන ගිය ජන කොටසක් ජීවත් වු මෙම කළාපයට, වශී වූ ඉංග‍්‍රීසි ජාතිකයින් ස්ප‍්‍රීං වැලි යන නාමයෙන් මෙබිම ඔවුන් දිනූ භූමියක් ලෙස භෞතීස්ම කර ඇත. අප ගේ මෙම විමසුම ඒ භූමි ප‍්‍රදේශය පිළිබඳවය,


බදුල්ල නගරයට ගිණිකොනින් සැතපුම් පහක් පමණ දුරින් පිහිටි අඩි 6670 ක් පමණ උස් වූ නමුණුකුළ කඳු වැටියත් උසින් මදක් අඩුවෙන් පිහිටි නාරංගොඩ කඳු වැටියත් අමතක කර මේ සුන්දර භූමිය පිළිබඳ කවර කථාවක් දැයි මට සිතුණි. නමුණු කුළ කන්ද පිරිවර කර ගෙන පිහිටි කඳු යාය දෙසට අපේ අවධානය යොමු කරමින් ස්ප‍්‍රිං වැලි ගම්මානයේ ජීවත්වෙන අසූ පස් වියැති බණ්ඩාර මැණිකේ මාතාව අපට පැවසුවේ කෝට්ටගොඩ, පෙරිය නාවල, නාවල වත්ත, ගවර කැලේ, ඇල්පීන් වත්ත, මේ මලෙයි, කුදු මලෙයි ආදි වශයෙන් වතු  නම් පටබැඳිව ඇති කඳු පෙළ ගැනය. මේ පොළවෙ  ඕන දෙයක් හැදෙනව, නියඟය ආවම නමුණුකුල මුදුනෙ තියන දේවාලයට ගිහිං, ඒ තැනිතලාවෙ වැල්ල හාරල වතුර අරගෙන ඉන්දක දෙවියන්ට දානයක් දෙනව, ඒ සිරිත හැමදාම කරන එකක්, දානෙ දීල ආපහු එන්නෙ වැස්සේ තෙමීගෙන, මදක් කල්පනා කළ මේ මෑණියන් ගම්මානය ගැන තවත් බොහෝ තතු පවසා සිටියේ සිනහ පිරි මුහුණකින් යුතුව බව අගේ කළයුතු කරුණකි. සමනළ කන්දට වඩා  අඩි හත්සියයක ට ආසන්න ගණනකින් මිටි මෙම ගිරිසිඛරය ඉන්දක දෙවි රජුන් ගේ වාස භූමිය ලෙස පළාත් වැස්සෝ ගරු බුහුමන් දක්වන අතර, ජනප‍්‍රවාදයක මා අසා ඇත්තේ මේ මත පිහිටි ගලක ශ‍්‍රීපාද ලාංඤ්ඡනය ද පිහිටි බවකි.
(ස්ප‍්‍රිංවැලි ගම්මානයට නමුණුකුළ දර්ශනය වන ආකාරය* පිංතූරය බලන්න)
මගේ ගමන් සගයා වූයේ  වැලිකේමුල්ල නම් ගමේ කීර්ති සරත්චන්ද්‍ර ඥති සොයුරායි ඔහ ඊළඟට මාව කැඳවා ගෙන ගියේ දතනියගල නම් කඳු පාමුලටය. ඒ අසල නිවැසි කාන්තාවක් සමග ප‍්‍රදේශය පිළිබඳව කතාබස් කිරීමේ දී මද තොරතුරු හෙළි කිරීමකින් පසු ඇය අප ඉදිරියට කැඳවාගෙන ආවේද මාතාවකි. අනූ පස් විය ඉක්මවූ බව පවසන මෙම මෑණියන් අප හා කුළුපග වීමට එතරම් කාලයක් ගත නොවුණි. ලෙන්ගතුව විපිළිසර වීමෙන් පසු ඇය පැවසූ දේ මම සටහන් කිරීමට වෙහෙසුණෙමි.
(කීර්ති සරත්චන්ද්‍ර 2011.04.22*)


''මේ ඔක්කොම තේ වැව්වෙ සුද්දො, ඒ ගොල්ල සිංහල මිනිස්සුන්ගෙ ඉඩම් ගත්ත, පැටී මහත්තය තමයි මේ සේරම බලා ගත්තේ, (ඡායා රූපයේ දිස්වන සුදු ජාතික පවුල බලන්න* දතනියගල කන්ද පෙන්වූ ඇය, ඒ කාලෙ සුදු මහත්තුරු කිව්ව ඔය කන්ද ඇතුලෙන් පොළොවෙ දිය ඇල්ලක් ගලනව කියල, අද ඔය වෙලා තියෙන්නෙ එ්ව තමයි,” (ගෙවල් රැසක් නාය යාමේ තර්ජනයට ලක්ව ඇති අයුරු මට මුලින්ම දැන ගැනීමට හැකි විය* ජන ප‍්‍රවාදවල එන කරුණක් මට සිහි පත් වූයේ, ”මේ කන්ද නමුණුකුළ තරමටම උස තිබුණ දැන් පාත් වෙලයි තියෙන්නෙ, මේ පොළොව යට ගංගාවක් තියෙනව කියල තමයි, සුදු ඉංජිනේරු මහත්තුරු කිව්වෙ, දැන් ඒක සිද්ධවෙලා ගෙවල් ගණනාවක් යට ගිහින්, නමුණුකුළ කඳු පාමුල බංගලාව හැදුවෙ පැටී මහත්තය තමයි, තේ වතු හැදුව, ඉස්සර මේවයෙ හිටපු සුද්දො අස්සය උඩින් තමයි එන්නෙ.‘‘ඒ කාළෙ  මතක කවි  මතක්කළොත්, මම ඇගෙන් කිහිප විටක්ම ඉල්ලීම් කළ පසු මදක් නිහඬව සිට,”

නමුණු කුලේ පාමුල බංගලා           වා
සැදුණු කැලේ ලී දඬුවලසොබා       වා
පිපුණුමලේ සුවඳට බමරු     ආ      වා
රට හැර යන්න සැදුණයි  බංගලා    වා

බඹරු නෙවෙයි සුද්ෙදා ආවෙ,” ඇගේ එම වචනයෙහි හඬ සැබැවින්ම මම බොහෝ වේලාවක් පල්ලම් බහින අතර කණඟ රැව් දුන්නා පමණක් නොව, යටත් විජිත යුගයේ ඉතිහාසයම එහි සාරාංශ ගතව ඇතැයි මට සිතුණි. සමුගන්නට ප‍්‍රථම මම පුද්ගලික තොරතුරු බිඳක් ගැනද විමසුවේ මෙම පෙදෙස සමාජ විද්‍යාත්මක වශයෙන් ද වටිනා කම් රැසක් විදහා පාන ගම්මානයක් බැවිණි. ඇය අප හා පැවසුවේ, ''මට වයස දැන් අවුරුදු සීයට ආසන්න වෙනව, පුතාල පස් දෙනෙක් දුවලා හතර දෙනෙක්, මට ළමයි හොඳට සළකනව” ඒ බව අපට මනාව තහවුරු වූයේ ඇය නිරෝගීවත් සතුටිනුත් සිටි හෙයිණි.(ඇයට තවත් බොහෝ කාලයක් සතුටින් දිවි ගෙවීමට ආශීර්වාද ප්‍රාර්ථනා කරමින් අපි එතැනින් පිටත් වීමු)
එතැණින් පිටත් වන විට හිරු අවරට ගොස් තිබුණිද කිසිදු වෙහෙසක් නොදැණුනේ මේ චමත්කාරය මින් පෙර කිසි විටෙක නොවිඳි බැවිණි. අප ළඟා වන විට පෙණුන කඳු මුදුන් මේ වන විට මිහිඳුමින් වැසී ගොසිණි. එපමණකුදු නොව මට දැණුනේ, අප එකිනෙකා නොපෙණෙන තරම් මිහිඳුම් පටල සිසාරා යද්දී එය අපූරු මෙන්ම සුන්දර තම අත් දැකීමක් ලෙසසි. අප දැන් ගමන් කරන්නේ, ස්ප‍්‍රිංවැලි සිට කෝට්ටගොඩ හරහා බදුල්ල නගරයට පිවිසිය හැකි මාර්ගයෙනි. ඈතින් දිස්වූ බදුලූ නගරය එ් වන විට වර්ෂාවෙන් නැහැවෙමින් පැවති බව ඉඳ හිට හැකිළුන මහිදුම් සළු අතරින් පෙණුනි. ලෙන් විහාරයට හැරෙණ හන්දියෙන් අප කෙලින්ම ගමන් කළේ තවත් බොහෝ දෑ බලන්නට තිබූ බැවින් වෙනත් දිනයක් එ් සඳහා වෙන් කරයුතු යැයි අදහස් කර ගෙනය. මිහිඳුම් සළු අපව ඔතා ගෙන කඳු පෙදෙසට අදින්නට වෑයම් කරද් දී බ්ලැක් පූල් නැමැති බදුළු ඔයේ සුන්දර වගේම ශීතල දිය පිරි විලත් ලී පාලම ඇති ඉසව්වත් නැරඹීම එලෙස කල් දැමුවේ කාල වේලාවත් මේ දිනවල පවතින අයහපත් කාළගුණයත් නිසාමය.
බදුලු ඔය මනාව පෝශනය කරමින් නමුණුකුළ හා ඒ අවට ඇළ දොළ ගිරි කඳුරු එක්ව ස්ප‍්‍රිංවැලි හි කඩමංඩිය අසලින් ගලා බසින්නේ කුඩා ඇල්ලක සිරිය මවමින්ය. ඒ හරියට මේ දිය දහර තව නොබෝ දුරකින් ලොවටම අසිරිය මවන දුංහිඳ කුමරිය ගේ ආදර්ශයක් ලෙස මගේ සිත වශී කළ බව අමුතුවෙන් කිව යුතු නොවේ. රාම රාවණා ඉතිහාසය තුළ ද වර්ණිත ඌව ප‍්‍රදේශය ප‍්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිවෙන අතීතයකට උරුමකම් ලබා ඇත. ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහළොවකින් සමන්විත වත්මන් බදුල්ල දිස්ත‍්‍රික්කයේ, ජනගහණය 775,000 පමණ වෙතැයි සැළකෙන අතර සියයට හැත්තෑ දෙකක් පමණ සිංහල ජනයා වෙති, එක් කාන්තාවක් සඳහන් කළේ, ‘‘මේ ගමේ සිංහල දෙමළ අපි ඔක්කොම එකමුතුව තමයි ජීවත් වෙන්නෙ, ඒ මිනිස්සු අපට උදව් පදව් කරනව වගේම අපිත් ඒ අයට උදව් කරණව” යනුවෙනි.
ජෛව විවිධත්වය පිළිබඳව ලංකාවේ කළාප 15 අතරින් එකකට අයත්වන මෙම කළාපය වටහා ගැනීමට තරම් උනන්දු වී ඇතත් මතු පරපුරට රැක දියයුතු සම්පත් රැසක භූමි කළාපයක් අවධානයෙන් ගිළිහී ඇතැයි හැ‍ඟුණි. 
මෙහි පිපෙන මල් ගැන පවතින වටිනාකම් ද ඖෂධ ශාඛ වලටම සමාණ ඇතැයි මට සිතුණි එවන් මලක් ගැන ප‍්‍රවාදවල සඳහනකි මේ, (මල*? 


සමසක් පිපෙන මල
සමසක් පර නොවෙන මල
යාළු නුඔට නුසුව කල
මා සඳහන් කරනු බල
මෙම සොඳුරු නිම්ණය හරහා ගලා බස්නා බදුළු ඔය සංචාරකයින් ගේ සිත් වශී කරන බ්ලැක්පූල් හෙවත් කළුවල පමණක් නොව කුඩා කුඩා දිය ඇලි නිමවමින් බදුල්ල දිස්ත‍්‍රික්කය තුළම, ලොවම ප‍්‍රකට දුන්හිඳ දිය ඇල්ල නිර්මාණය කරයි.



පිරිසිදු දිය දහරා
සදාහරිත ගූණයෙන් යුතු වන පෙත්
උස් කඳු මුදුන්
අප එකිනෙකා සඟවා ගත්
මිහිඳුම් පටල
අපූර්වතම කෘෂි භූමි
අව්‍යාජ මිනිසුන්
මෙන්ම සරල සුගම ජන ජීවිතය
මගේ සිත් පැහැරගත්
වස්තූන්ය.
සුනිල් දිය දහර දුටු මසිත එක් වරම නැගුණේ හංස සන්දේශයෙහි එන දිය කෙළි වැණුමකි.
සිතලොබ වඩමින් දුටු දුටුවන්    නේ
නිමලඹ තුරු දිව වෙතට උනුන්   නේ
ලෙළ පබ වත ගත කෙළන ළඳුන් නේ
ගන ගැබ සිය රැුළි විදුලිය වැන්    නේ (82*
(දුටු දුටුවන්ගේ සිත ලොබ වඩමින් නිමලඹ තුරු උනුන්නේ වෙතට දිව කෙළන ළඳුන්නේ වන ගත ලෙළ පත් ගන ගැබ සිය රැුළි විදුලිය වැන්නේ.*

පොද වැස්සේ අප ගමන නිමා කරමින් නගරාසන්නයට අවතීර්ණය වූයේ, සුන්දර මතකයන් රැසක් අප සිත් සතන් තුළ හා කැමරා කාචයන් තුළ සටහන් කර ගෙනය.
ඔබත් මේ සුන්දර භූමිය විඳ තව තවත් අළුත් දෑ අපට කියන්න.
සුනිල් කුමාරසිංහ අතුකෝරල
2011.04.22 ස්ප‍්‍රිංවැලි සංචාරය විශේෂ ස්තුතිය
වැලිකේමුල්ල කීර්ති ශරත්චන්ද්‍ර මහතා (ලංගම,බදුල්ල* ඇතුළු පවුලේ සැමටත්, වික්‍රමපාල මහතා (ලංකා බැංකුව, බදුල්ල) ඇතුළු පවුලේ සැමටත්,
කණුපැළැල්ලේ ගුණදාස මහතා (මහජන බැංකුව* ඇතුළු පවුලේ සැමටත්

තවත් බොහෝ දේ පිළිබඳව ඔබට තොරතුරු උගත හැකි ඡායාරූප කිහිපයකි මේ,
(පින්තූරයකින් වචන දහසකටත් වැඩිය කියැවේ - ඇත්තද බලන්න*)

(වතු වගාවේ පුරෝගාමීන් ලෙස සුදු ජාතිකයන් ස්ප‍්‍රිංවැලි තේ වගාව ආරම්භ කළ සමයේ ගත් ඡායාරූපයකි*)


     
(අපට තොරතුරු පැවසූ බණ්ඩාර මැණිකේ මාතාව*








(අපට තොරතුරු පැවසූ ස්ප්‍රීංවැලි ගම්මානයේ තවත් මාතාවක්)*




(බදුල්ල වැලිකේමුල්ල හරහා ස්ප‍්‍රිංවැලි ගම්මානයට පිවිසෙන ඔබට මුලින් ම හමු වන පැරණි  හින්දු කෝවිල*)




අභාග්‍ය සම්පන්න ලෙස 2011 මාර්තු මස නායයාමේ තර්ජනයට ලක්වී ඇති ආකාරය





කුඩා දිය ඇලි ද මවමින් බදුලූ ඔය ස්ප‍්‍රිංවැලි
කඩමණ්ඩිය අසළින් ගළා බසී



එළවළු පළතුරු ලාබෙට විකුණන ස්ප‍්‍රිංවැලි හි සුභසිංහ මුදලාලි මහතාගෙන් බෝංචි කිලෝ දෙකකුත් ගත්තෙමු


ඔබට ස්ප‍්‍රිංවැලි සංචාරයේ දී හිතේ හැටියට නාගත හැකි බ්ලැක්පූල් හෙවත් කළු වල
(හැබැයි හරිම සීතලයි*)




 මේ සදාහරිත පරිසරය ලාංකීය මාතාවගේ අග්‍ර‍න්‍ය භූමි කලාපයක් වගේම සොඳුරු මනුෂ්‍යයින්ගේ අඩවියක්
 සොබාදහම් රාජණියගේ අපූරු දසුන් නරඹන්න ඔබත් යන්න සතුටු වන්න

පර්යේෂකයා

නමුණුකුල සංචාරය බලාපොරොත්තු වෙන්න හොඳේ.

කඳුහෙල් ගිරි දුදුළු බාදක නොදුටු          බිම 
ගලනා ගඟක සැඟවී ඇති මිහිර             කිම
වද වේදනා දුක් හිරි හැර අසම               සම
හමුවන දිවිය රසවත් යැයි සිතමි            මම

ගංඟාවක් වගේ තමයි මනුෂ්‍ය ජීවිතත් හැල හැප්පිලි නැගිටිම් වැටීම් බිඳ වැටීම් යළි නිසළව ගලායෑම් ඇති කරන්න කරන් ගඟක් තකාතරම් ලස්සණ ද


No comments:

Post a Comment