Tuesday, November 12, 2013

සමනල සංද්ධ්වනිය සහ ජනප‍්‍රිය සිනමාව

සුනිල් කුමාරසිංහ අතුකෝරල


‘‘කවර දැනුමක් හෝ ලැබීම බුද්ධි ගෝචරය, කවර හෙයින්ද, එය නුවුමනා දෙය පලවා හැර, යහපත් දෙය ඉතිරි කරයි.’’
මානව ශාස්ත‍්‍ර විෂයධාරාවට අයත් දර්ශන විෂය අනුව, යමක් ගැඹුරින් අධ්‍යයනය කරන්නේ කෙසේද යන්න විමසනු ලබයි. සමාජ ගතව පවතින විශ්වාසය වන්නේ, දර්ශනයත් ජනප‍්‍රිය සිනමාවත් අතර කිසිදු සබඳතාවයක් නොමැති ලෙසට ය. දර්ශනය යමක් ගැඹුරින් විමසන අතර ජනප‍්‍රිය සිනමාව මතුපිට විනෝදය සම්පාදනය කරයි. එහෙත්, ජනප‍්‍රියත්වය හා කලාත්මක භාවය අතර පවතිණ නිසර්ග ස්වභාවය පිළිබඳ අපට අමතක කළ නොහැක.
සමනල සංද්ධ්වනිය සිනමා වෘත්තාන්තය ඇරඹෙන්නේ, සහෘද හදවතට නැවුම් අපේක්ෂාවක් ඇතුළු කරන පුණ්‍යාගේ හෘදයන්ගම ආමන්ත‍්‍රණයකිනි. වාදීශ සිය සගයන් සමඟ අවිනිශ්චිත මෙන්ම බිය හා සැක මුසු කුතුහලයක් පේ‍්‍රක්ෂකයා තුළ ද ඔවුන්ට සමපාතව ජනනය කරවන රූප රාමුවකින් කතා විකාශය ආරම්භ කරයි. ඔවුන් අපේක්ෂිතව සිටි ලෙසම පැමිණෙන තැපැල් කරුවා ලිපි කවර එකිනෙක පරීක්ෂා කරමින් අන්සතු වටිනා දේ සඟවා ගෙන ලිපි ඉරා ගුලි කර විසි කරයි. මේ සිදුවීම් හරහා අධ්‍යක්ෂවරයා ධ්වනිත කරනුයේ විවෘත ආර්ථිකයේ අනිටු පළ විපාක වශයෙන් බිහිවන අසංතෘප්ත සමාජයේ  අසංවර පැති කඩකි. (අන්තසතු ලිපියක් විවෘතකිරීම අත කපා දැමිය යුතු තරම් වරදක් ලෙස සැළකූ සමාජයක අකා මකා දැමූ සමාජ තැත, නුතන මිනිසා අතික‍්‍රමණය කරයි* පුණ්‍යා ගේ ලිපිය අතපත් වීම වදීශ ගේ ජීවිතය වෙනස් කරන්නට සමත් වෙයි. තරුණ සංගීතඥයාගේ පෙළහර, එක් පසෙකිනුත් අනෙක් පසින් යුද්ධයේ බිහිසුණු බවත්, තත් යුගයේ සමාජ දෘෂ්ටිය පිළිබිඹු කරවයි. හිට්ලර්ගේ බිහිසුණු ආක‍්‍රමණයෙන් රුසියාව බේරා ගනුයේ, ලෙනින්ග‍්‍රෑන්ඞ් සංද්ධ්වනියයි. සමනල සංද්ධ්වනිය යුගයක සංස්කෘතිය විමසන්නටත් මානව මනස ක‍්‍රියා කරන ආකාරය දෙස ව්‍යක්තව බලන්නට සහෘදයා පොළඹවයි.
කොතරම් පීඩාවන් හමුවේ වුව ද, අනෙකා පිළිබඳ ඇති උනන්දුව වාදීශ කෙරෙන් ගිලිහී නොයයි, ලිංගික උත්තේජනය මානවීය බවට පෙරලෙයි. තත්කාලීන සමාජයේ අසංතෘප්ත තැපැල් කරුවා විසි කරන අහිංසක මිනිසුන්ගේ උතුම් බලාපොරොත්තු වල වේදනාව වාදීශගේ හද තුළ නිදන් ගත වෙයි. දරාගත නොහැකි වෙයි. මේ අදින් දශක දෙකකට පෙර සමාජ ප‍්‍රවණතාවය සිහිපත් කරන්නකි. මධ්‍යම පාන්තික ජීවිත සන්ධ්‍යා සමයේ ගත කරන සැහැල්ලූව සංගීතමය භාවනාව ඔස්සේ අමාමහ ශාන්තියක් අත්පත් කර ගන්නා අතරේ වාදීශ අතීතය අනෙකා සමඟ ප‍්‍රක්ෂේපණය කරන්නේ, පේ‍්‍රක්ෂකයාද අතීතයට රැුගෙන යමිණි. යුද්ධයෙන් මිය ගිය සැමියා ගේ සොවින් තැවෙන පුන්‍යා ලය සැහැල්ලූ කර ගන්නට මාර්තු 07 සමරයි. වාදීශ කුළුගන්වන ලද මනෝභාවය හමුවේ අනෙකා පිළිබඳ ඇති උනන්දුව අත් නොහරී.  ප‍්‍රිය ගීතය හා ජනප‍්‍රිය ගායකයා පිළිබඳ හැඟීම අවියෝජනීය තත්ත්වය හමුවේ හදට සුව ඔසුවක් වෙතැයි ඈ කල්පනා කළද, එය අපේක්ෂා බිඳ දමන අමිහිරි සිද්ධාන්තයක් වෙයි. එය, ජීවිතයෙහි සැබෑ ස්වරූපය පෙන්වීමට දක්වන යථාර්ථවාදී එළඹුමකි. වසර විසි ගණනකට පසු වාදීශ හද බර සුළෙඟ් පාකර හරින්නේ රසිකයා ධාරා දෙකක් ඔස්සේ ගමන් කරවමිනි. මධ්‍යම පන්තියේ කාමසුඛල්ලිකානු හරසුන් ජීවිතයේ යථාර්ථයක් ලෙස පුනරුදයෙන් පසු කරලියට එන ඉහළ පංතියේ සන්ධ්‍යා දිවියේ මිථ්‍යාව සිනමා කරුවා හරබර ලෙස රාමු ගත කර ඇත.
සංද්ධ්වණියකින් අපේක්ෂා කරන්නේ කුමක්ද, රස වින්දනය සමඟ ජීවිතය ප‍්‍රභාමත් කර ගැනීමට යම් උත්තේජනයක් වගේම සැහැල්ලූ හා සදාචාරාත්මක ජීවිතයයි. සංස්කෘතිය, ශිෂ්ටාචාරයක ශීලාචාරකම විදහා දක්වන අතර, සංගීතය සංස්කෘතියක අවියෝජණීය අවයවයක් ලෙස ක‍්‍රියා කරයි. නූතන අසංස්කෘතික මිනිසා සොයන සරල යථාර්ථය සමඟ සමනල සංද්ධ්වණිය ස්ථාන ගත වන්නේ කොතැනකද. අධ්‍යක්ෂවරයා, වාදීශ ලවා අපට සිතන්නට ඉඩ හරින්නේ, පවිත‍්‍ර කලාව උපදින්නේ කෙසේද යන්න පිළිබඳව ද. යන්න විමසා බැලිය යුතු ය. 
මෑත භාගයේ යුද්ධය හා සොල්දාදුවන් පිළිබඳ සිනමා වෘත්තාන්ත රැුසක් බිහිවිය. පශ්චාත් යුධ සමයේ වැන්දඹු බිරියන්ගේ හද නැගෙන විරහව පුණ්‍යා අපට සිහිපත් කරන්නේ ඒ අපට යමක් ඉක්මණින් අමතකවන නිසා විය හැක. ජයන්ත චන්ද්‍රසිරිගේ සංකේත භාවිතය අගනේය. කේමදාස සූරීන් බහුතර ලාංකිකයින්ගේ හදවතේ සදාකල් ජීවත් වෙන ප‍්‍රතිභා පූර්ණ මිනිසෙකි. සංද්ධ්වණිය යන නාමය අපට තනිව ස්මරණය කළ හැකිද. එය අපට වාදීශ ලවා අධ්‍යක්ෂවරයා කුළුගන්වයි. නිල ඇඳුමකින් සැරසුන බි‍්‍රගේඩියර්වරයෙකු වෙනුවට සොල්දාදුවන් හතර දෙනෙකු ගේ රූප රාමුවක් දෘෂ්‍යමාන කරවීමෙන්  වෘත්තාන්තය තීව‍්‍ර කරයි. උඩ රටට ධාවනය කෙරෙන දුම්රිය, සිංහල ගුරුවරිය, රාමු කරන ලද පිංතූර ආදී සංකේත භාවිතය. ඖචිත්‍ය පිළිබඳ දක්වන උනන්දුව මෙන්ම අඳුර හා ආලෝකය භාවිතාව සිනමා පටයේ ආකෘතිය, අන්තර්ගතයෙන් ශක්තිමත් කරන ජයන්තචන්ද්‍රසිරි නම් සිනමා කරුවා, කියරොස්තාමි සිනමාවේ යථාර්ථය හා මුසු මනෝජානයන් පිළිබඳව අපට සිහිපත් කරවන අතර රසිකයින් පිනවා මුදල් රැුස් කිරීමේ යථාර්ථයෙන් බැහැරව රසිකයින් බුද්ධිමය සංවාදයකට මෙහෙයවීම පිළිබඳව අප නැවතත් ඔබ අගය කළ යුතුය. මගේ මිතුරෙකු පැවසුවේ, පරිණත කලා කරුවා දක්ෂ කපටියෙක් යනුවෙනි, ඔහු ගේ විග‍්‍රහයේ අවසාන අරුත වූයේ එය කිසිසේත් ද්වේශ සහ ගත කියමනක් නොවන බව ය. එනම් නිර්මාණයට සාධාරණය ඉටු කිරීමට යොදන උපරිම ශක්තිය සමඟ නිර්මාණ කරුවාගේ ශක්‍යතා මනාව පිළිබිඹු කිරීමක් ලෙසය. අබ්බාස් කියරොස්තාමි වුව ද පවතින සීමාවන් තම වාසියට පෙරළා ගන්නේ, රසිකයින්ගේ හදවත තුළට පිවිසීමට නොවේද. ඛසෙැ ්බා භදඑයසබට ඵදරු තුළින් පවසන්නේ, ළමයකු තම යහළුවකු ගේ අමතක වූ පාසල් පොතක් නිසා ගුරුවරිය ගෙන් දඬුවම් ලැබිය හැකි යන අදහසින් දුර කතර ගෙවා මිතුරා සොයා යෑමකි. ළමයි ජීවිතය දෙස බලන්නේ වැඩිහිටියන් බලන ආකාරයෙන් නොවන නමුත් වැඩිහිටියන් නිතර අපේක්ෂා කරන්නේ, ඔවුන් බලන ආකාරයෙන්ම බලන්නට ළමයින් පෙළඹවීමටයි. සෘජු ආඛ්‍යාන ශෛලිය සහ භාවාතිශය වෘත්තාන්ත වලින් හෙම්බත් ජීවිතයේ මතු පිට ස්පර්ශ කරන බොහෝ බොලඳ නිරර්ථක සිනමා වෘත්තාන්ත අතරට එන සමණල සංද්ධ්වනිය සිංහල සිනමාවේ හැරවුම් ලක්ෂයක් නොවේද යන්න විමසිය යුතු කරුණකි.
පංති කාමරයේ දී, ‘පුණ්‍යා’ යනුවෙන් වාදීශ එකවරම ගුරුතුමියට දෙන පිළිතුර. ගම්පෙරළිය සිනමා පටයේ නිළියගේ නමත් වාදීශගේ මනසේ රැුඳුන අනෙකාගේ නමත් පුණ්‍යා ය. සිනමා කරුවා සරළ දෙය සංකීර්ණත්වය කරා ගෙනයාමේදී ඉතා සියුම්ව සෑම අංශයක් කෙරෙහිම අවධානය යොමු කරන ආකාරය මැනවින් ප‍්‍රකට කරයි. යෞවනය කරා ගමන් කරන වාදීශගේ පෞරුශය ළමා අවදියේ සිට ගොඩ නැගෙන්නකි. මව අහිමි වාදීශගේ භෞතික සංස්කෘතිය කුටුම්භය තුළ පෝෂණය වුවද, ආධ්‍යාත්මික හිදැස ජීවන ගමන කැළඹිළි සහිත කරවනු ලබයි.      
දෙවන ලෝක යුද්ධයෙන් පසුව ස්ත‍්‍රියට ලබා දෙන සමාජ තත්ත්වය හමුවේ, ඇය සුචරිතවාදී රාග නිශ‍්‍රිත ඇගයුමකට ලක්වීම හරහා ස්ත‍්‍රීවාදී ජනප‍්‍රිය සිනමා කතිකාවතක් බිහිවිය. ධනයෙන්, කුලයෙන් පමණක් නොව ආත්ම ගත අභිමානයකින්ද සිනමා වියමන පේ‍්‍රක්ෂකයාට ආකර්ශනය කරන ‘පුන්‍යා’ සිය හැඟීම්බර මුහුණින්, ගමන බිමනින් පමණක් නොව ඇඳුමින් පවා පිළිබිඹු කරන අදිසි ශෝකය එක් පසකින් පශ්චාත් යුධ සමයේ ව්‍යසනයට පත් කාන්තාවගේ සමාජ භූමිකාව විමසුමට ලක් කිරීමක් වැනිය. ‘‘කලාව කලාව සඳහා නොව මිනිසා සඳහාය’’ (ලෙනින්* පුන්‍යා, පේ‍්‍රක්ෂක ආධ්‍යාත්මය තුළට  නොදැනිම සිදුවන මේ ඇතුලූ වීම, ඇතැම් විචාරකයෙකුට මෙය ස්ත‍්‍රීවාදී සිනමා පටයක් ලෙස අරුත් ගැන්වීමට ද පෙළඹ ඇති බව පෙනේ. වාදීශලාගේ මවගේ වියෝව, නූතන සමාජ සංදර්භය තුළ වඩාත්ම ආකර්ෂණීය වූ යුද්ධය හෝ සොල්දාදුවන්ගේ රූප රාමු, හෝ බි‍්‍රගේඩියර් ගේ වියෝව වැනි ඛේදානතයන් පිළිබඳව සීමිත දෙබස් හා සංඛේත භාවිතයෙන් පේ‍්‍රක්ෂක මන දොල සපුරමින් මුඛ්‍යාර්ථයට සියල්ල මනාව පෙළගස්වා තිබීම උසස් වින්දනයක් පේ‍්‍රක්ෂකයාට ලබාදෙන්නට දරන ප‍්‍රයත්නයක් වෙයි.
ඇතැම් විශ්ලේෂකයින් සඳහන් කරන්නේ, ජනප‍්‍රිය චිත‍්‍රපටවල කලාත්මක ලක්ෂණ හීන වන නමුදු, දෙස් විදෙස් බොහෝ අධ්‍යක්ෂවරුන් වැඩි ප‍්‍රමානයකගේ අභිලාෂය වන්නේ, කලාත්මක හා ජනප‍්‍රිය චිත‍්‍රපට නිමැවුම බවය. 
‘ ජනප‍්‍රියත්වයත් කලාත්මක භාවයත් එකිනෙකට ප‍්‍රති විරුද්ධ සංකල්පයක් ලෙස ගැනිය හැකි නමුත් මෙය ඉතාමත් සංකීර්ණ ගැටලූවක් ද වන බවයි. සමාජ හා මානව විද්‍යාත්මකව මෙන්ම සන්නිවේදන විද්‍යාව වැනි සංකීර්ණ විෂයයන් ඔස්සේ විමසමින් පශ්චාත් කාලීන සමාජ චින්තකයින් ඉදිරිපත් කර ඇති කරුණු අනුව පෙනෙන්නේ, කලාත්මක චිත‍්‍රපට පිළිබඳ සංකල්පයත් වෙනස්වන සමාජයට අනුරූපව වෙනස් විය යුතු බවය.
යහ ගුණ පිරි අවංක මිනිසුන්ගෙන් සමන්විත සුපිරි සමාජයක් බිහිවීම උගහට වුව ද, කලා කරුවා සිය වෑයම අත් නොහැරිය යුතුය. අද්‍යතන කලාකරුවාට සමාජය වෙතින් පැවරී ඇති වගකීමෙන් මිදිය නොහැකි බව පසක් කරන සිනමා කරුවන් සැමවිටම සමාජයට ශක්තියකි. සමනල සංද්ධ්වණිය සරල තැන සිට සංකීර්ණත්වය කරා යන ගමන දෙස නැවත නැවත විචක්ෂණය කළ යුතුය. වාදීශ හා පුන්‍යාගේ ගැටලූව සමාජිය හා දේශපාලනමය පසුතලයක නිර්මානය වුවද එය හුදෙක් ආත්මීය ගැටලූවක් කරා ගමන් කරයි. බාහිර ලෝකයෙන් මිදී ස්ව චරිත අතර සංඝටනය කරයි. කලා නිර්මානයක දායකත්වය සමාජ ප‍්‍රගමනයට අවශ්‍ය ඥාන සම්පාදනය කිරීමෙහි ලා සුළු පටු නොවේ. ‘‘මකරාක්ෂයා’’ නිෂ්පාදනය කළ ධර්මසිරි බණ්ඩාරනායක සිය නාට්‍ය සමරු කළඹෙහි සටහන් කළේ, ‘‘සත්‍ය දැක දැක එයට පිටු පා ජීවත්වන බියගුලූ වංචා කාරී මිනිසුන් පිළිබඳව ඇති වූ දැඩි කලකිරීමෙන් හා අනුකම්පාවෙන් යුතුව 1985 වර්ෂයේදී මම මෙම නාට්‍යය නිෂ්පාදනය කළ බව පමනක් ලියා තබමි’’ යනුවෙනි.
සමනල සංද්ධ්වණිය සිනමා පටය සංගීතාත්මක මෙන්ම කලාත්මකව ද, විශිෂ්ට එකක් වෙයි. එය මානව ජීවිතයට විවර වූ කවුළුවකි, සමුදයාර්තය වශයෙන් පාරම්පරික දේවල් නවීනත්වයේ බලපෑමෙන්  වියැකී යාම පිළිබඳව පණිවුඩයකට එය ලඝු කිරීම නම් අසාධාරණයක් ලෙස පෙනේ. 

සුනිල් කුමාරසිංහ අතුකෝරල
athukorala128@gmail.lk